අපේ අර්ථිකයේ වර්ධනයක් ලබන වසරේදී අපේක්ෂා කරනවා

0
15

විදේශ විනිමයවල දැඩි හිඟය මේ වන විට යම් කිසි ආකාරයකින් අඩු වී ඇති බවත් පෙට්රල්, ඩීසල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ බෙහෙත් සඳහා විදේශ විනිමය ලබාදීමේ තත්ත්වයන් පවතින බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මහ බැංකු අධිපතිවරයා එලෙස පවසා සිටියේ ඊයේ (18දා) ශ්‍රී  ලංකා මහ බැංකුවේ පැවැති 6 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

“මේ වන විට මෙරරට අපනයන ආදායම්වල වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඉදිරියේදී කෙටි කාලීන ණය පහසුකම් ලබාගැනීමකින් තොරව මෙරට සතුව ඇති මුදල්වලින්ම ආර්ථික කටයුතු පවත්වාගෙන යෑමේ තත්ත්වයක් පවතිනවා.

විදුලි ගාස්තු වැඩිකිරීමෙන් පසු එම තත්ත්වය තවත් වර්ධනය විය හැකියි.

බැංකුවල මුදල් ප්‍රසාරණයත් මේ වන විට සෑහෙන මට්ටමකට අඩු වී තිබෙනවා. එලෙසම විනිමය අනුපාතය ස්ථාවර මට්ටමකට පත්වෙමින් තියෙනවා.

කෙසේ වුවද සියයට 60කට වඩා මට්ටමක මෙරට උද්ධමනය පවතිනවා. ඉහළ පොලී අනුපාතයක් තවදුරටත් පවත්වාගෙන යෑමට සිදුවන්නේ එම හේතුව නිසයි.

එසේ වුවද ඉදිරියේදී රාජ්‍ය මුදල් ප්‍රතිපත්තියක්, රාජ්‍ය ණය ප්‍රතිපත්තියක් සහ අලුත් අය-වැයක් ඉදිරිපත් කිරීමෙන් මෙරටට යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමට හැකියාවක් තිබෙනවා. එහි ප්‍රගතිය දිගින් දිගටම පවත්වාගෙන යා හැකියි.

අපනයනයන් මඟින් ලැබෙන මුදල් නියම ආකාරයෙන් මෙරටට ලැබෙනවාද කියා මහ බැංකුව අලුත් ක්‍රමවේදයක් යටතේ නිරීක්ෂණය කරනවා.

හවාලා, උන්ඩියල් යන ක්‍රමවේද හරහා විදේශ මුදල් මෙරටට ලැබීම මේ වන විට අඩුවෙමින් පවතිනවා. සංචාරක කර්මාන්තයේද මේ වන විට ප්‍රගතියක් දක්නට ලැබෙනවා.

වැටුණු ආර්ථිකයක් කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත්කිරීමට හැකියාවත් ලබන වසර තුළදී මෙරට ආර්ථිකයේ වර්ධනයත් අපේක්ෂා කරනවා.

එලෙසම බැංකු ක්‍රමය තුළට පැමිණෙන ආනයන ආදායම්, විදේශ ප්‍රේෂණ ස්ථාවර මට්ටමකට පත්වෙමින් තිබෙනවා.

හවාලා, උන්ඩියල් යන ක්‍රමයන් හරහා කළු කඩ වෙළෙඳපොළ තුළට පැමිණෙන විදේශ මුදල් මේ වන විට අඩුවෙමින් පවතිනවා. එයට හේතු වී ඇත්තේ බැංකු ක්‍රමය තුළින් එන විදේශ මුදල් සඳහා පාරිභෝගිකයන්ට සැලකිය යුතු වටිනාකමක් සහ දීමනා ලැබීමයි.

මේ වන විට කළු කඩ වෙළෙඳපොළ තුළ විදේශ මුදල් සඳහා 390ක් 385 වැනි වටිනාකමක් ලැබීමක් දක්නට නැහැ.

බැංකු ක්‍රමය තුළින් විදේශ මුදල් මෙරටට පැමිණීමේ වර්ධනයක් තිබෙනවා. පිස්කල් ප්‍රතිපත්තිය ශක්තිමත් නොකර, මිල සූත්‍ර හඳුන්වා දීමකින් තොරව රුපියල පාවීමට ඉඩ හැරීම අනුමත කිරීමට හැකියාවක් නැහැ. රුපියල පා කළ යුත්තේ ක්‍රමානුකූලවයි. ක්‍රමානුකූලව රුපියල පා නොකිරීමේ හේතුව නිසයි ඩොලරයට සාපේක්ෂව රුපියල ඉහළ අගයකින් අවප්‍රමාණය වුණේ.

ආනයන අපනයන හරිගැස්සවීමකින් තොරවද රුපියල පා කිරීම සුදුසු වන්නේ නැහැ.

විදේශ මුදල් මෙරටට එවන විදේශ ශ්‍රමිකයන් සඳහා දීමනා සහ සහන මෙරට ජනතාව ගෙවන බදුවලින් ලබාදීම සුදුසු නැහැ. බැංකු ක්‍රමය තුළින් විදේශ මුදල් එවනු ලැබුවහොත් විදුලි මෝටර් රථයක්, විදුලි මෝටර් සයිකලයක් ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන්නත් ඒ සඳහා වන නියමිත බදු ගෙවා අදාළ පුද්ගලයාට එය නිදහස් කර ගැනීමට සැලසිය යුතුයි.

විවෘත ගිණුම් හරහා ආනයන සිදුකිරීම තුළින් අත්‍යවශ්‍ය බඩු මිල  පාලනය වෙනවා යැයි කීම පිළිගත නොහැකියි. බඩු මිලට හේතු වන්නේ විවෘත ගිණුම් හරහා ආනයනය කිරීම නොවෙයි.

බඩු මිල පාලනය වන්නේ ප්‍රතිපත්ති රාශියක ප්‍රතිඵලයක් වශයෙනුයි.

උද්ධමනය සියයට සීයක මට්ටමකට පැමිණ පොලී අනුපාතය සියයට 30ක මට්ටමක පැවැතුණත් වැඩක් නැහැ. උද්ධමනය වැඩි වීමෙන් සිදුවන්නේ භාණ්ඩ හා සේවාවල මිල වැඩි වීමයි. එසේ වුවද භාණ්ඩ මිල වැඩි වුවහොත් ඉල්ලුම නැති වෙනවා. උද්ධමනය පාලනය කළ යුත්තේ නිෂ්පාදන වියදම් පාලනය කිරීම සඳහායි.

විදුලි බිල වැඩි කිරීමට ලොකු කාලයක් ප්‍රමාද වුණා කියැයි මම හිතනවා එය අවුරුදු 12ක පමණ කාලයක් ප්‍රමාද වීමයි.  

අමිල අබේරත්න