වසන්ත මුදලිගේ ඇතුළු 6ක් අත්අඩංගුවට

0
510

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ, වසන්ත මුදලිගේ කොළඹ, ගෑස්පහ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය.

ඔහුට එරෙහිව මීට පෙර අධිකරණය විසින් වරෙන්තුවක් ද නිකුත් කරනු ලැබ තිබිණි.

සෙසු පිරිස අද (අගෝ. 18) කොළඹදී පැවති විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම, භාණ්ඩ මිල අඩු කිරීම ඇතුළු තව ත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පස්වරුවේ කොළඹ ලිප්ටන් වට රවුමෙන් පා ගමනක් ආරම්භ කළේ ය.

අනතුරුව ඔවුන් පා ගමනින් පුරහල ඔස්සේ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී පොලිසිය මාර්ග බාධක යොදා ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර එම පිරිස විසුරුවා හැරීමට කටයුතු කළේ ය.