සියල්ල ජනතා යහපතට විය යුතුය

0
108

ශ්‍රී  ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධව වර්තමාන ආණ්ඩුව කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට අත ගසා ඇති බවට පුවත් පළවෙයි. ඊයේ අප “මව්බිම” මුල් පුවතකින් අනාවරණය කළේ රාජ්‍ය ආයතනවල මුල් පුටුවලට නිලධාරීන් පත්කිරීමේදී පූර්ව අනුමැතිය සඳහා ජනාධිපති කමිටුවක් පත්කොට තිබෙන බවය.

කමිටු පත්කිරීම සම්බන්ධව මෙරට සතුව ඇත්තේ වාර්තාගත ඉතිහාසයකි. කොමිෂන් සභාද නිමක් නැත. පත්කළ කමිටු කොමිෂන්

සභා සර්වප්‍රකාරයෙන් සාර්ථක වුණි නම් වර්තමානයේ අප මුහුණ දෙමින් සිටින ආකාරයේ ගැටලු කිසිවක් පැනනොනඟින්නට හොඳටම ඉඩ තිබිණි. එය එසේ වුවද රට බරපතළ ආර්ථික අගාධයකට වැටී සුන්බුන් වෙමින් තිබෙන මේ මොහොතේ වර්තමාන ජනපති විසින් පිහිටුවනු ලබන කොයි කමිටුව වුවද තීරණාත්මකය. රට යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධව බරපතළ වගකීමක් නිතැතින්ම මේ කමිටුවලට පැවරෙයි.

රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීම සම්බන්ධව රජය ගැටලු රැසකට මුහුණ දෙමින් සිටී. පමණට වැඩි සේවක පිරිස් අඩු කිරීම, වැටුප් වියදම් අඩු කිරීම, රාජ්‍ය අංශයේ ප්‍රතිව්‍යුහගත කිරීම, අතිකාල දීමනා කප්පාදුව වැනි විවිධ පියවර සම්බන්ධව ආණ්ඩුව අහස පොළොව ගැටලමින් සිටිනු පෙනේ. පමණ ඉක්මවා මුදල් අච්චු ගැසීමෙන් රාජ්‍ය අංශය තාවකාලිකව තෘප්තිමත් කොට අර්බුදයට තාවකාලික පිළියම් යෙදිය හැකි නමුදු රටේ ආර්ථිකය එමඟින් තවදුරටත් බංකොළොත් වනු නොවැළැක්විය හැකිය. IMFණය සහනාධාර ගැන යම් අපේක්ෂාවක් ගොඩනැඟෙමින් පැවතුණද රාජ්‍ය ආයතන නඩත්තු කිරීම උදෙසා එවැනි පියවර කිසිසේත්ම උචිත නොවනු ඇත. රාජ්‍ය, සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීමේදී දූරදර්ශී වූත්, විධිමත් වූත් ක්‍රමවේදයක් අවශ්‍ය වන්නේ මෙබඳු පසුබිමකය.

නිදහසින් පසු මේ රටේ ආණ්ඩු පෙරළි සිදුවුණු හැම අවස්ථාවකම වාගේ ආණ්ඩුව මුලින්ම අතගසන්නට හුරු පුරුදුව සිටි කාර්ය වූයේ එක්කෝ රාජ්‍ය සංස්ථාවක නැතිනම් ව්‍යවස්ථාපිත මණ්ඩලයක ඒත් නැතිනම් රාජ්‍ය ව්‍යවසාය ආයතනයක මුල් පුටු කීපයට තම තමන්ගේ සහචරයන් රිංගවා ගැනීමය. මැතිවරණවලින් පසු දේශපාලන පක්ෂවලට ක්‍රියාකාරීව අත හිත දුන් බොහෝ පිරිස් ඒ සම්බන්ධව අපේක්ෂා ඇතිකරගෙන සිටිති. රටේ වගකිවයුතු තනතුරුවලට නුසුදුස්සන් පත්කිරීමේ ප්‍රතිවිපාක අත් විඳිමින් සිටින්නේ පොදු මහජනතාව පමණක්ම නොවේ. බලයට ගිජුකම් දක්වන දේශපාලනඥයන්ටද ජනතා අපේක්ෂා ඉටුකරලන්නට නොහැකි වී තිබෙන්නේද එවැනි අබල දුබල පිළිවෙත් හේතුවෙනි.

මුල් පුටුවලට නිලධාරීන් පත්කිරීම හා අස්කිරීම සම්බන්ධව පසුගිය කාලයේ මෙරට ජනතාවට දැකගන්නට ලැබුණු අපූර්වතම ප්‍රහසනය වූයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මුල්පුටු පෙරළියයි. තවත් අමාත්‍යාංශ කීපයකම මේ ආකාරයේ “ආටක නාටක” දැකගන්නට ලැබිණි. ඇතැම් විට සුදුස්සා පත්වීම් ලැබූවත් අමාත්‍යවරයාට ඔහු පෙනෙන්නේ පරම හතුරකු සේය. තමන් පත්කළ නිලධාරියාගෙන් තමන්ට අවශ්‍ය දේ කරගන්නට බැරිවුණු විට ඔහුට පා පහරදී එළවා දැමීම මෙරට දේශපාලන ඉතිහාසයේ අලුත් දේවල් නොවේ.

නරියාට කුකුල් කොටුව භාර දුන්නා වගේය කියා මෙරට ජනතාව අතරේ කතාවක් තිබේ. පසුගිය කාලයේ රාජ්‍ය ආයතන කීපයකම මුල් පුටුවලට නිලධාරීන් පත්කිරීම ගැන වුවද නරි කුකුල් කතාව ගළපා ගන්නට බැරිකමක් නැත. අද රට මුහුණදෙමින් සිටින බරපතළ ආර්ථික අර්බුදයේ සෘජුව නොපෙනෙන හේතු කාරකයක් තිබෙන්නේ මේ වැඩේය.

ලිට්රෝ සමාගමේ හිටපු සභාපතිවරයාට මසකට රුපියල් ලක්ෂ 30ක වැටුපක් ගෙවූ බවට පසුගිය කාලයේ තොරතුරු අනාවරණය වී තිබිණි. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයේ යෙදී සිටින ඉන්ජිනේරුවන් දහසකට පමණ වැටුප් ලබාදීමේදී ඔවුන්ගේ මාසික වැටුප් ප්‍රමාණ නොසෑහෙන තරම් ඉහළ මට්ටමක පවතින බවටද තොරතුරු අනාවරණය විය. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවකයන්ගේ අතිකාල ගෙවීම් මාසික වැටුපද ඉක්මවා යන බවටද පුවතක් විය. රාජ්‍ය ආයතන පාඩු පිට පවත්වාගෙන යෑම ගැන අප කතාබහ කරන්නේ මෙවැනි පසුබිමකය.

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත බිඳවැටෙමින් තිබේ. අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය, ආහාර සුරක්ෂිතතාව, සමාජ සුබසාධනය, මහජන ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව, කෘෂිකර්මය යනාදී වූ හැම

ක්ෂේත්‍රයකම අවුල් වියවුල්ය. දෛනික ජීවිතය නිදහසේ සැනසිල්ලෙන් ගත කිරීම බරපතළ අර්බුදයක් වී තිබේ. ආණ්ඩුව ශක්තිමත් විය යුතු වන්නේ සමස්ත ජනතාවගේ සකලවිධ අවශ්‍යතා සපුරාලීම උදෙසා නිසි කළමනාකරණයක් අවශ්‍ය වන බැවිනි. මේ අරමුණ නිසි ලෙස ඉටුවනුයේ රාජ්‍ය ආයතන පද්ධතියෙහි මුල් පුටුවලට ඒ ඒ විෂය ක්ෂේත්‍ර සම්බන්ධව නිපුණතා ඇති සුදුස්සන් පත් කිරීමෙනි.

විදුලිය ගාස්තුව වැඩිකිරීම් සාමාන්‍යය සියයට හැත්තෑ පහක් පමණ වන බව කියයි. තෙල් මිල, බස් ගාස්තු, අඩුකොට තිබෙන බව කීවත් එය කිසිසේත්ම ජනතාවට දැනෙන ආකාරයට නොවේ. දේශපාලකයන්ගේ හා නිසි බලධරයන්ගේ අසමත්කමට වන්දි ගෙවන්නට සිදුවී තිබෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවටය. ක්‍රමය වෙනස් විය යුතුය කියා අරගලය පැනනැඟුණේ රට පීඩනයෙන් පීඩනයට පත් කරන්නට නොවේ. ජනතා හිතෛෂී පාලන ක්‍රමයක් බිහිවනු දකින්නටය. ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ ඒ වෙනුවෙන් ක්‍රියාවට නැඟේ නම් ඒ සම්බන්ධව යහපත් ජනතා ප්‍රතිචාරයක් ලැබීම ඒකාන්තය.