විදුලි සැර වද්දා තවත් සද්දන්තයෙක් මරලා

0
14

වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේ වතුයායක විදුලි සැර වැදීම හේතුවෙන් මියගිය දැවන්ත වල් අලියකුගේ සිරුරක් ඊයේ (17දා) උදෑසන සොයාගත් බවට වවුනියාව වනජීවී නිලධාරී කාර්යාලය පවසයි.

ගනේෂපුරම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික  ඉඩමකට පැමිණ ඇති වල් අලියා පෙරේදා (16දා) රාත්‍රියේ විදුලි සැර වද්දා මරා ඇති අතර ඊයේ උදෑසන ප්‍රදේශවාසියකු විසින් අලියා වැටී සිටිනු දැක ඒ පිළිබඳව වවුනියාව වනජීවී නිලධාරීන් දැනුවත් කර ඇත.

වනජීවී නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් සිදුකරන ලද පරීක්ෂණවලදී හෙලිවී ඇත්තේ වල් අලියා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවය.

කෙසේ වෙතත් වල් අලියාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන වවුනියාව වනජීවී නිලධාරීන් සහ පොලිසිය වල් අලියා මියගොස් සිටි ඉඩම හිමි 45 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මියගොස් ඇති වල් අලියා අඩි 08ක් පමණ උසැති අවුරුදු 25ක් පමණ වයසැති සද්දන්තයෙකි. අත්අඩංගුවට ගත් කාත්තාව වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද වවුනියාව පොලිසිය වැඩිදුරටත් පැවැසීය.

වවුනියාව – එන්. ප්‍රියදර්ශනී, මුලතිව් ශෂිකුමාර්