වසර 3කට හිරේට නියම වී දෙකහමාරෙන් පැන ආ සිරකරු මාබිමදී අත්අඩංගුවට

0
15

මත්කුඩු සම්බන්ධව වසර තුනක සිට සිර දඬුවමක් විඳිමින් සිටියදී සිරෙන් පැන්න සිරකරුවකු බියගම පොලිසිය මඟින් පෙරේදා (16දා) පෙරවරුවේ මාබිම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. වසර තුනක සිර දඬුවමක් නියම වී පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ සිටි මොහු වසර දෙකහමාරකදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී ඉකුත් මාර්තු මාසයේ 29 වැනිදා මෙසේ පැන ගොස් තිබිණි.

එහි බුද්ධි අංශයේ නිලධාරීන් විසින් මොහු සැකපිට අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මොහු විසින් සොරකම් කරනු ලැබූ ත්‍රිරෝද රථ දෙකක්, යතුරුපැදියක් හා මවුන්ටන් වර්ගයේ පාපැදියක් සොයා ගෙන ඇති අතර මාකොළ, කනත්ත පාරේ නිවෙසකින් රුපියල් 45,000ක මුදලක් සමඟ රන් මුද්දක්ද මාකොළ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක පිටතින් සවිකර තිබෙන වායු සමීකරණ යන්ත්‍රයක්ද ලොරි රථයක බැටරියක්ද මොහු විසින් සොරකම් කර තිබූ අතර එයින් ලොරි රථයේ බැටරිය සොයා ගනු ලැබීය.

මේ අතර මාලබේ ප්‍රදේශයේ කාන්තාවකගෙන් පැහැර ගන්නා ලද රන් කරාබු ජෝඩුවක් කඩුවෙල ප්‍රදේශයට විකුණා තිබියදී සොයාගෙන ඇත. මොහු ළඟ තිබී හසු වූ ත්‍රිරෝද රථ දෙක මාකොළ ප්‍රදේශයෙන් සොරකම් කර තිබූ අතර ඒවා කිරිබත්ගොඩ, මාලබේ යන ප්‍රදේශවල අතහැර දමා  තිබූ බවත් බියගම ප්‍රදේශයෙන් සොරකම් කළ යතුරුපැදිය බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී හමු වූ බවත් ගල්වලහන්දිය ප්‍රදේශයෙන් සොරකම් කළ මවුන්ටන් වර්ගයේ පාපැදිය කඩුවෙල ප්‍රදේශයට විකුණා තිබියදී සොයා ගත් බවත් පොලිසිය කියයි. මේ වන විට මොහුට එරෙහිව විවිධ අපරාධ සම්බන්ධව  නඩු අධිකරණයේ විභාග වෙමින් පවතී. රියැදුරකු ලෙස වෑල්ඩින් කාර්මිකයකු ලෙස රැකියාවන් කර ඇති සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් මහේෂ් මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. අමරසේකර, සැරයන් ජගත් (50820), පො.කො. ලක්මාල් (82436), ජීවන්ත (78311), කුමාර (71453), අබේසිංහ (74265) හා පො.කො. රියැදුරු අජිත් (15130) යන නිලධාරීහු මේ වැටලීම සිදු කරනු ලැබූහ.

බියගම – කේ. දුමින්ද, දෙල්ගොඩ – බිහිදු විනුවර