රට ගිය පස්දරු මව හොරෙන්ම මෙරටට ඇවිත් තරුණයකු හා දීග කාලා

0
19

රට සල්ලි උපයන්න විදෙස්ගත වී ලංකාවට පැමිණ තරුණයකු හා දීග කෑ පස් දරු මවක ඇගේ සැමියා ඇතුළු දරුවන් විසින් නැවත භාර ගැනීමේ සිද්ධියක් මිනුවන්ගොඩ පොලිසියේදී අනාවරණය විය. ඇය පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පස්දරු මවකි. ඇගේ සැමියා 49 හැවිරිදි අයෙකි.

ගොවිතැනින් ජීවිකාව ගෙනයෑමට නොහැකි නිසා මීට වසරකුත් මාස අටකට පෙර ඇය ඕමාන් රටේ රැකියාවකට ගොස් තිබේ.

ඇය ඕමාන් රටේ සේවය කරන අතරවාරයේදී මිනුවන්ගොඩ අවට ප්‍රදේශයක පදිංචි 28 හැවිරිදි තරුණයකු සමඟ මුහුණුපොත ඔස්සේ පෙම් පටලැවිල්ලක් ඇති කරගෙන තිබේ. ඇය විවාහක පස් දරු මවක් බවට තරුණයාට පවසා තිබුණේ නැත. ඉකුත් පෙබරවාරි මාසයේදී ඕමාන් රටෙන් ලංකාවට පැමිණ ඇති මෙම කාන්තාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයාගේ නිවෙසට පැමිණ ඔහු සමඟ පවුල් ජීවිතය ගතකර ඇති බව පොලිසියේදී අනාවරණය විය. පොළොන්නරුව

ප්‍රදේශයේ පදිංචි ඇගේ සැමියා සහ දරුවන් සිද්ධිය අනාවරණය කරගෙන මිනුවන්ගොඩ පොලිසිය වෙත පැමිණ  කරන ලද පැමිණිල්ල මත එම  පස්දරු මව සහ තරුණයාව පොලිස් ස්ථානය වෙත ගෙන්වා සිදුකළ පරීක්ෂණයේදී ඉහත තොරතුරු අනාවරණය විය.

මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක එම්.කේ. රමණි මහත්මිය දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු කාරණාවලින් අනතුරුව සැමියා තම බිරියවත් දරුවන් තම මවත් භාර ගැනීමට කැමැත්ත පළ කර සිටි අතර තමා සමඟ පවුල් කන කාන්තාව විවාහක පස් දරු මවක් බව  දැනගැනීමෙන් අනතුරුව තරුණයාද එම කාන්තාව සැමියාට සහ  දරුවන්ට භාර දීමට කැමැත්ත පළ කර සිටීමෙන් අනතුරුව  දෙපාර්ශ්වය වෙන් වෙන්ව පොලිසියෙන් පිටව යන අයුරු දක්නට ලැබිණි.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරල