මේ රටේ ලක්ෂ 220ම දේශපාලන පළිගැනීම්වලට ගොදුරු වෙලා

0
214

දේශපාලන පළිගැනීම්වලට ලක් වී ඇත්තේ මෙරට ලක්ෂ දෙසිය විස්සම බවත් සහන දිය යුත්තේ රටටම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.  දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය නිලධාරීන් පිරිසකට වන්දි ගෙවීමකට අදාළ කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා ඉදිරිපත් කිරීමට පොහොට්ටු පක්ෂය යුහුසුළුවෙමින් සිටින බව  විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ මොහොතේ එවැන්නක් කිරීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බවද ඔහු ඊයේ (17දා)  ප්‍රකාශ කළේය. බංකොලොත් වූ රට නඟා සිටුවීමට කටයුතු කරනවා හැර මෙවැනි දේශපාලන පළිගැනීම් සඳහා යැයි කියමින් තෝරා ගත් කිහිපදෙනකුට සහන ලබාදීමට තමන් විරුද්ධ බවද ඔහු පැවැසීය.

දේශපාලන පළිගැනීමට ලක්වෙලා සිටින්නේ  මේ රටේ ලක්ෂ දෙසීය විස්සක ජනතාව බවත් ආණ්ඩුව කළ යුත්තේ ඔවුන් ඒ පළිගැනීමෙන් මුදාගැනීම බවත් ඔහු කීය. 

අන්තනෝමතික තීන්දුවක් නිසා පොහොර තහනම් කිරීම හේතුවෙන්  ගොවි ජනතාවගේ වගා හානි වී ඇති බවත්, අදටත් ඔවුන්ට වන්දි ගෙවා නොමැති බවත්, වසර දෙකකට වැඩි කාලයක් මේ රටේ දරුවන්ට අධ්‍යාපනය නිසි ආකාරයෙන් ලැබී නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

නිර්මාණි ගුණරත්න