බටා වැඩි නොකළොත් සමුප සේවක කොමිෂන් සභාවට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා

0
12

සමුපකාර සේවක කොමිෂන් සභාව අධ්‍යාපන සමුපකාර සමිති සේවකයන්ගේ ප්‍රවාහන දීමනාව කාලානුරූපීව සංශෝධනය නොකිරීමට විරුද්ධව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන සමුපකාර පොදු සේවක සංගමය අවධාරණය කරයි.

සමිතියේ සේවකයන්ට දැනට ලබාදෙන ප්‍රවාහන දීමනාව වර්තමානයට ප්‍රමාණවත් නොවන බව එම සංගමයේ සභාපති නන්දන හේවගේ පැවැසීය.

මෙය නිවරැදි කරන්නැයි සමුපකාර කොමිෂන් සභාවෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළ බවද සභාපතිවරයා සඳහන් කළේය.

සමුපකාර සේවකයන්ගේ තීරණ ගැනීමේ බලධාරියා වන සමුකාර සේවක කොමිෂන් සභාවට ඉදිරිපත් කළ ලිපි නොසලකා හැර ඇතැයිද නන්දන හේවගේ චෝදනා කළේය.

සේවකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු තීරණ වැළැක්වීමට සමුකාර කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන් දිගින් දිගටම කටයුතු කරන බවද සභාපතිවරයා පැවැසීය.

අධ්‍යාපන සමුපකාර සමිතියේ සේවකයන් සඳහා අනුමත ප්‍රවාහන දීමනාව 2018 වසරට අදාළව තවමත් ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.

එම වසරට සාපේක්ෂව බස් ගාස්තු සියයට හාරසියයකින්ද, දුම්රිය ගාස්තු සියයට දෙසිය පනහකින්ද, ඉන්ධන මිල සියයට තුන්සියයකින්ද ඉහළ ගොස් තිබෙන බවද හේවගේ මහතා පෙන්වා දෙයි.

පවතින අධික ප්‍රවාහන වියදම්  සේවකයන්ට දරාගත නොහැකි බවත්, ඇතැම් සේවකයන් ලබාගන්නා වැටුප ප්‍රවාහනයටම වෙන් කිරීමට සිදුව ඇති බවත් සභාපතිවරයා කීය.

අධ්‍යාපන සමුපකාර සමිතියේ සේවකයන් සඳහා කිලෝමීටර් 25ක් දක්වා ප්‍රවාහන දීමනාවක් ලබාදිය යුතු බවද ඔහු පැවැසීය.

දිවයින පුරා කාර්යාල 21කින් සමන්විත, සේවකයන් දහසකට අධිකව සිටින අධ්‍යාපන සමුපකාර සමිතිය දකුණු ආසියාවේ විශාලතම ණය දෙන සමිතිය බවද නන්දන හේවගේ සඳහන් කළේය.

අමිත් මධුරංග ගමගේ