පාර්ලිමේන්තුවේ බහුතරයක් හොරු නිසා අලුත් පාර්ලිමේන්තුවක් ගේන්න ඕනේ

0
10

මේ පාර්ලිමේන්තුව හොරු පන්නන්න, දඬුවම් දෙන්න නීති සම්පාදනය කරයිද? එහෙම වැඩපිළිවෙළක් ගෙනෙයිද? ජනතාව අපේක්‍ෂා කරන දේ මේ පාර්ලිමේන්තුවේ කරන්න බෑ. මේකේ අති බහුතරයක් හොරකමට, වංචාවට, දූෂණයට සම්බන්ධයි. ඒ නිසා අලුත් පාර්ලිමේන්තුවක් ගේන්න ඕනේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික. ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

අමුණුගම කැන්ඩිවින් හෝටලයේදී පැවැති ජාතික ජන බලවේගය මඟින් සංවිධානය කරනු ලැබු මැණික්හින්න, යග්ගහපිටිය, අමුණුගම කොට්ඨාස සභාව පිහිටුවීමේ ජන හමුව අමතමින් ඒ මහතා මෙසේ කීය.

එහිදී ලාල්කාන්ත මහතා මෙසේද කීය.

මේ කොට්ඨාස සභාවට පැවරෙනවා විශේෂ වැඩක්. ගමේ ජීවත්වෙන පුරවැසියන් ටික මේ රට වෙනස් කර ගැනීම පදනම් කරගෙන දේශපාලනය ගොඩනඟන්න. මේක පොඩි වැඩක් නෙවේ. අපේ රටේ දේශපාලනය තාම ප්‍රශ්නයක තියෙන්නේ. ගැටලුව තියෙන්නේ මහපොළවේ. එම නිසා ගම ගොඩනඟනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. ඒක සරල නැහැ. නිතරම රැවටිල්ලට ලක් කරන්නෙත් විවිධ නාලිකා මඟිනුත් දේශපාලනඥයොත් ගොඩක්  වෙලාවට ගම. ඒ නිසා ජාතික දේශපාලන ඉලක්කය නැතිනම් පරිවර්තනයක් ඇතිකර ගත් ජාතික දේශපාලන ඉලක්කයකට ගමක් ගොඩනඟනවා කියන්නේ සෑහෙන අමාරු වැඩක්. ඒකට කර ගහපු අපි උඩ ඉඳන් දේශපාලනය කරනවාට වඩා අමාරුයි ගම ගොඩනඟන එක.

අප්‍රේල්  මාසයේ නව වැනිදා තමයි ගෝල්ෆේස් එකට ජනතාවට එන්න කියලා විවෘත ආරාධනයක් ආවේ. ඒකට නිශ්චිත අයිතිකාරයෙක් හිටියේ නැහැ. ගෝල්ෆේස් අරගලයෙන් පාර්ලිමේන්තුව පරද්දන්න ඕනි කියලා එහෙම මතයක් සටන් පාඨයක් ආවේ නැහැ. අපි දකිනවා අපේ පැත්තෙන් අඩුපාඩුවක් පාර්ලිමේන්තුව කියන සාධකය. ඒක වට්ටන්න ඕනි. ඒක පරද්දන්න ඕනි. ඒක වෙනස් කරන්න ඕනි. ඒකට ඡන්දයක් ඕනි. ගෝල්ෆේස්  අරගලය ඇතුළේ තිබුණේ නැහැ. ගෝල්ෆේස් අරගලය ඉලක්ක වුණේ ප්‍රධාන වශයෙන් ගෝඨා ගෝ හෝම් කියලා.

ජාතික ජන බලවේගයටත් තියෙන ගැටලුව තමා රාජපක්‍ෂලාගේ බලය තියෙන ප්‍රධාන තැන් දෙකක් තිබෙනවා. හැබැයි මහපොළවේ නැහැ. ගමට යන්නේ නැහැ. මළගෙවල්වලට නැහැ. දැන් මළ ගෙදරකටවත් යන්නේ නැහැ. පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්. ඔය ඇමැතියෝ නම් වෙලා ඉන්න අය. පොදු සමාජයේ දැන් මළ ගෙදරකටවත් යන්නේ නැහැ. එයාලා පොදු සමාජය මළ ගෙදරකවත් යන්නේ නැහැ. එයාලා සමාජයෙන් විතැන් වෙලා ඉවරයි. සමාජය ඇතුළේ එයාලාගේ බලය නැහැ.

ජාතික වශයෙන් එයාලගේ බල කුලුනු දෙකක් තියෙනවා. එක කුලුනක් තමා ජනාධිපති කුලුන. අනිත් කුලුන තමා පාර්ලිමේන්තු කුලුන. හැබැයි මේ අරගලය ඇතුළේ මේ එක කුලුනකට විතරක් එරෙහිව තමා මේ ෆයිට් කරන්නේ. මේ කුලුනු දෙකම පදනම් කරගෙන අරගලය තිබුණේ නැහැ.

ජාතික ජන බලවේගයේ අරගලය තිබුණේ මේ කුලුනු දෙකම පදනම් කරගෙන. අපි කිව්වේ මේ පාර්ලිමේන්තුව යවන්නේ නැතිව මුකුත් හරියන්නේ නැහැ. පාර්ලිමේන්තුව පෙරළන්න ඕනි. පාර්ලිමේන්තුව වෙනස් කරන්න ඕනි. ඒකට ඡන්දයක් ඕනි කියලා. පාර්ලිමේන්තු බහුතරයට පුළුවන් මේක විසුරුවා හරින්න. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ජනමත විචාරණයක් තිබුණේ  තිබුණු පාර්ලිමේන්තුවම තව අවුරුදු පහක් දීර්ඝ කර ගත්තේ ඒවත් මේ ව්‍යවස්ථාවේ තියෙනවා.

රාජපක්‍ෂලාගේ බලය තිබෙන තැන් දෙකක් තිබෙනවා. ඒ තැන් දෙකටම ප්‍රහාරයක් එල්ල නොවී ඒ තැන් දෙකම වට්ටන්නේ නැතිව රාජපක්‍ෂලාගේ බලය අහෝසි කරන්න බැහැ. දැන් ජනාධිපති දාලා ගියාට පස්සේ මොකද වුණේ. අනිත් එක සක්‍රීයයි. ඒ ගොල්ලන්ට ඕනි කරන එක ජනාධිපති කෙනෙක් පත් කරගත්තා. ගෝඨාභය ගියත් තමා හැබැයි ජනාධිපතිකමේ බලය ආපසු තියෙන්නේ ඒ පිලටම තමා.

හැබැයි ප්‍රගතිශීලී අරගලය තිබුණා මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය යැව්වා. මේ අය ඇමැති මණ්ඩලවල හිටියත් නැතත් පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ ඒගොල්ලන්ට. ඒ අය පාර්ලිමේන්තු බලය පාවිච්චි කරලා තමා රනිල් වික්‍රමසිංහ ගෙනාවේ. රනිල්ටත් තියෙනවා ජනාධිපති වීමේ සිහිනයක්. දිගටම පොහොට්ටුවේ ආරක්‍ෂකයා විධියට මේ ගොල්ලෝ දීර්ඝකාලීන තිබුණු ගනුදෙනු අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළා. ගෝඨා ගියාට ඊටත් වඩා නරුමයෙක් ආපහු ජනාධිපති වෙලා තියෙනවා.

දැන් පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත කළොත් දැඩි නීති එක්ක කාගේ බලයද මේ පාර්ලිමේන්තු බලය අණ පනත් දරුණු ක්‍රියාවලිය ඉදිරියට ගේන්න පාවිච්චි කරන්නේ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුවත් එක්ක අන්තර් පාලනයත් බැහැ. ප්‍රගතිශීලී වැඩ කරන්න බැහැ. ඒ නිසා තමා අපි දිගටම තර්ක ගෙනාවේ මුල ඉඳලම මේ පාර්ලිමේන්තුව ඉවර කරන්න. මේ පාලනය වට්ටලා ප්‍රගතිශීලී පාලනයක් ඇති කරගන්න නම් අනිවාර්යයෙන්ම මේ පාර්ලිමේන්තුව ඉවර කරන්න ඕනි.

පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ පොහොට්ටුවට නම්, අපි කොච්චර ඉවර කරන්න ඕනි කිව්වත් මේක වේගෙන් ඉවර වෙන්නේ නැහැ. අපි බලය ගොඩනඟන්නත් ඕනි. රනිල් ඔයත් යන්න පාර්ලිමේන්තුවත් ඉවර කරන්න. දැන් අරගලය මේ ප්‍රදිගාමීත්වය පරාද කරන්න ඕනි. දැන් අරගලය තල්ලු කරන්න ඕනි. ගමේ මතය හදන්න ඕනි. මේ දෙක එකට ඉවර කරන්න ඕනි. පාර්ලිමේන්තුව විසුරුවලා එය ජනතාවට ඉඩක් දීම අත්‍යවශ්‍යයි.

මැණික්හින්න – ඩී. වන්නිආරච්චි