පටු දේශපාලන වාසි ගැන නොසිතා රට ගැන හිතන්න

0
17

රට ඇදවැටී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීමට වර්තමාන ජනාධිපතිවරයා විසින් සර්වපාක්ෂික රජයක් බිහි කිරීමට අපේක්ෂා කර ඇති අතර එම සංකල්පය සාර්ථක කර ගැනීමට පටු දේශපාලන සීමාවලින් මිදී රට ගැන සිතා, රටේ අනාගතය වෙනුවෙන් සිතා කටයුතු කිරීම සියලු දෙනාගේ ප්‍රමුඛ වගකීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත මහතා පවසයි. 

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (17දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත මහතා,

“අද මේ වන විට මේ රටේ දරුවෝ එක පැත්තකින් අසරණ තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. ඒ වගේම වර්තමානය තුළ ඇතිවෙච්ච කොවිඩ් ව්‍යසනය සහ වර්තමාන දේශපාලන සහ ආර්ථික අර්බුදයන් එක්ක දරුවන්ගේ අධ්‍යාපනය ඉතාම ඛේදනීය තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. නමුත් මේ දවස්වල තෙල් ප්‍රශ්නය, විදුලිය ගැන කතා කරනවා. එහෙත් දරුවෝ ගැන කතා කිරීම පිළිබඳව පොඩ්ඩක් ප්‍රමාද කරලා තිබෙනවා. ඒ නිසා මම පැහැදිලිව කියනවා මේ සියලු දේවල් කතා කරනවා වගේම මීටත් වඩා දරුවන් වෙනුවෙන් ප්‍රමුඛත්වයක් දෙන්න ඕන. විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වෙනවා කියන්නේ කොවිඩ් මරණයකට සමාන විදිහට තමයි මම මාධ්‍ය සාකච්ඡාවලදී සාකච්ඡා කළේ. දරුවන්ට නිවැරැදිව අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය කරන කටයුතු අපි සියලු දෙනා එකතුවෙලා ක්‍රියාත්මක කරන්න ඕන. වර්තමානය වන විට අධ්‍යාපන අමාත්‍යතුමා ඒ සම්බන්ධව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා. අපි ඒ සඳහා 225ම සහයෝගය ලබා දෙන්න ඕන. ඒ වගේම වෘත්තීය සංගම්වල සහයෝගයත් මේ අවස්ථාවේදී ලබාදීම ඉතාමත්ම වැදගත් වෙනවා. දරුවෝ අපේ රටේ වටිනාම සම්පත නම් මේ දරුවෝ පිළිබඳව වැඩි අවධානයක්  යොමු කරන්න ඕන.

දැන් දිගින් දිගටම සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කළා. නමුත් තාමත් ස්ථිර වශයෙන්ම මේ සර්වපාක්ෂික ආණ්ඩුවට දායකත්වය දෙන්නේ, මේ දායකත්වය තුළින් ඇදවැටිලා තිබෙන මේ රට ගොඩනඟන්නේ කොහොමද පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙන්න ඕන. මේ වන විට සුබවාදී තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. පක්ෂ එකක්, දෙකක් හැරෙන්න අනෙකුත් පක්ෂ එකඟතාවකට ඇවිත් තිබෙනවා. ඒ වගේම සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න සමහර අය අකමැති නම් සර්වපාක්ෂික වැඩපිළිවෙළකට ඒ අයගේ දායකත්වය දෙන්න ඕන. හැමදාම විවේචනය විතරක් තිබිලා හරියන්නේ නෑ. දේශපාලන පටු අරමුණු වෙනුවෙන් නම් කටයුතු කරන්නේ මම හිතන්නේ එය ඉතාම කනගාටුදායක තත්ත්වයක් වෙනවා. ඒ තත්ත්වය උදා නොවෙන්න අපි සියලුදෙනාම සියලු පක්ෂ ආගම්, ජාති, කුල මේ සියලු දේ පැත්තකට දාලා රට සහ ජනතාව ගොඩනඟන අරමුණට අපි සියලු දෙනා සම්බන්ධ වෙන්න ඕන. ඒ සම්බන්ධ වීම මම හිතන්නේ හෙට දවසේ අපේ රටේත් රටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා අපට ලොකු පිටිවහලක් වෙනවා.

දැන් එකිනෙකා එක එක පැතිවලට, කණ්ඩායම්වලට බෙදිලා විවිධ අවස්ථාවලදී මාධ්‍ය සන්දර්ශන දැම්මට දැන් වැඩක් නෑ. රට ඉතාමත් නරක තත්ත්වයකට පත්වෙලා. දැන් යම් සුබවාදී තැනකට රට නිර්මාණය වෙමින් යන අවස්ථාවක්. එහිදී සංචාරක ව්‍යාපාරයේ යම් ප්‍රගතියක් තිබෙනවා. ඒ වගේම රට තුළ ඇතිවෙච්ච ගැටලු යම් ප්‍රමාණයකින් ඉතාම සුබවාදීව විස‍ෙ¾දන තත්ත්වයක් තිබෙනවා. හැබැයි මෙය ඉතාම සතුටට කරුණක් කියලා උජාරුවට කතා කළාට වැඩක් නෑ. අපි සියලු දෙනා එකට එකතුවෙලා මේ අවස්ථාවේදී ජනාධිපතිතුමාට, අගමැතිතුමාට ඒ වගේම මේ වෙනුවෙන් කැපවෙන සියලුදෙනාට දායකත්වය ලබාදිය යුතුයි.