දෙබිඩ්ඩෝ!

0
150

සුවසැරිය කියන්නේ රටට සාපයක්. ඒ ගිලන් රථ හරහා රෝ ඔත්තු සේවය ලංකාවට එනවා. ඒ හරහා ලංකාවේ තොරතුරු ඉන්දියාවට යනවා.”

සුවසැරිය ගිලන් රථ සේවය ලංකාවට හඳුන්වා දෙන කාලයේ ඒකාබද්ධ විපක්ෂය කිව්වේ එහෙමයි.

“අපේ කාලයේ මේ වගේ රට පාවා දෙන ගිවිසුම් ගැහුවේ නෑ. අපි ගිවිසුමක් ගැහුවානම් ඒක රටට හිතකර ගිවිසුමක්. නමුත් අද මුළු රටම පිටරටට සින්නක්කරේට විකුණලා.”

යහපාලන ආණ්ඩුව සමයේ මහින්ද රාජපක්ෂලා එහෙම කීවේය.

“ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝඩි එනවා. එන්නේ වෙසක් බලන්න තොරණ බලන්න නෙවෙයි. කියන්නේ වෙසක් බලන්න කියලා තමයි. අපි කියනවා තමුන්නාන්සේලාට ඒ පාවාදීමට එරෙහිව මෝඩි අගමැතිට පේන්න මුළු රටම කළු කොඩිවලින් පුරවන්න.”

(විමල් – 2017 මැයි 01 ගාලුමුව‍ෙදාර පිටියේදී)

ඊළඟට ඉන්දියාවට කුඩු වෙන්න ගැහුවේ ගම්මන්පිලය.

,වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් පමණක් මෙරටට පැමිණෙන බව කිව්ව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහෙට ආවට පස්සේ හැසිරුණේ සහ ජනතාව ඇමැතුවේ ඉන්දියාවට එක්වූ 30 වැනි ප්‍රාන්තය ශ්‍රී ලංකාව බව සිතාගෙනයි. බස්නාහිර හා දකුණේ පමණක් ක්‍රියාත්මක ගිලන් රථ සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කරන බවටත් වතුකරයේ නව නිවාස 10,000ක් තනන බවටත් ජනතාවට පොරොන්දු දෙන්නටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඇති අයිතිය හා ලංකාව පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ඔහුට ඇති බලය කුමක් කියලා අපි අහනවා. මෝඩි අගමැතිවරයා දික්ඔයදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දෙපසින් තබාගෙන ඉන්දීය අගමැතිවරයා ජනතාව ඇමැතුවේ ඉන්දියාවේ 30 වැනි ප්‍රාන්තයේ ජනතාව අමතන ආකාරයෙන් බවත් දකුණුපසින් ලංකා ප්‍රාන්තයේ ආණ්ඩුකාරයාද වම්පසින් එහි මහ ඇමැතිවරයාද සිටින බව සිතමින් තමයි ජනතාව ඇමැතුවේ.”

(පා. ම. උදය ගම්මන්පිල 2017 මැයි 15 දින)

එදා සියලු දේට එරෙහිව චෝදනා කළ පුද්ගලයන් අද චීනයෙන් නැවක් එනවිට එය පිළිගන්නට මඟට යන තරමට වෙනස් වෙලාය.

ඉතිහාසයේ ඊනියා දේශප්‍රේමීන්ගේ හිස් බේගල් නිසා රට ගව් ගාණක් පස්සට ගිය හැටිත්, ඔය කියන දේශප්‍රේමීන්ගේ බිහිසුණු ගිවිසුමුත් ගැන සමහරු සද්ද නැත.

ඒ දවස්වල ආණ්ඩු පෙරළන්න තරම් ලොකුවට කෑ ගැසූ ගිවිසුම් නිසා අද වෙලා තියෙන්නේ මොනවද කියා හොයන එක මේ වෙලාවේ ඉතාම වැදගත්ය.

වසර නවයට මහින්ද චින්තනයෙන් ආරම්භ කළ ලංකාවට 100% අයත් එකදු මහා ව්‍යාපාරයක් නැත. ඔහුගේ වසර නවය තුළ සිදු වූ ආර්ථික විනාශය තුළ සිදු වී ඇත්තේ දේශීය ව්‍යාපාර නමට පමණක් බෝඩ් ලෑලි තිබීමය.

ලංකාවේ අපනයනවලින් 75%ක් යවන්නේ බටහිර ලෝකයට බව නොදත් අට පාස් වාචාලයෝ “බටහිර කුමන්ත්‍රණ” මවති.

“ඉරණවිලට එන්නේ ඒරියා 51 වගේ අබිරහස් කලාපයක්. මුළු රටම ඉවරයි. අපි ඇමරිකවේ යටත්විජිතයක් වෙලා ඉවරයි.”

ඉරණවිල ඇමරිකන් හඬ ගුවන්විදුලිය ආරම්භ කරන්න යනකොට සමහරු කීවේ එහෙමය. ඇමරිකන් හඬ හෙවත් වොයිස් ඔෆ් ඇමරිකා නිසා එවක රජයට විශාල මුදලක් ලැබිණි. එම ස්ථානය පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීම හේතුවෙන් ඔවුන් විශාල බදු මුදලක් රජයට සපයනු ලැබූ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක ප්‍රමුඛ ආණ්ඩුව බලයට එන්නට මේ ඉරණවිල විරෝධයද හේතු විය.

වමේ පක්ෂ කරේ තියාගෙන ගිය “ඇමරිකන් හඬට” එරෙහි සටන පොදු පෙරමුණ හමාර කරතැයි බොහෝ දෙනා සිතූහ. නමුත් එහෙම වුණේ නැත. ඇමරිකන් හඬ එහෙමම ඉදිරියට ගියේය.

1985දී පටන් ගත් “ඇමරිකන් හඬ” කරළියට ගෙනාවේ අවුරුදු 9කට පස්සේය. ඒ කියන්නේ 94දීය. ඡන්දේ කිට්ටු වෙනකොට “රත් වූ තැටියේ රොටී පුච්චන්න” මෙහේ අය බොහොම සමත්ය.

වැඩේ ටක්කෙටම හරි ගියේය. රැල්ල අනෙක් පැත්ත ගැසුවේය. චන්ද්‍රිකා ආණ්ඩුව බලයට ආවේය. හැබැයි ආවට පස්සේ යූ.එන්.පී. ආණ්ඩුවට වඩා හොඳට ඇමරිකාව එක්ක වැඩ කළේය. ඉරණවිල පළමු බිල්ල සිදු වන්නේ පොදු පෙරමුණ ආවාමය. පුදුමය කියන්නේ ඉරණවිල නවත්වන්න ආ පොදු පෙරමුණ යටතේ ඉරණවිල උද්ඝෝෂණයේදී පුද්ගලයෙක් මියයෑමය. කාලයාගේ ඇවෑමෙන් ‘කෙටි තරංග’වලට පවත්නා ඉල්ලුම අවම විය. ඇමරිකන් හඬ ඇමරිකාවට එපා විය. ගිවිසුමේ කාලය අවසන් වීමට පෙර එකී ගුවන්විදුලි සම්ප්‍රේෂණාගාරය වසා දමා එම සම්ප්‍රේෂණාගාරය පිහිටි ඉඩම සහ එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම්/දේපළ ශ්‍රී ලංකා රජය වෙත භාරදීමට අපේක්ෂා කරන බව ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දෙනු ලැබීය.

නොරොච්චෝලේ බලාගාරය ඉදිකරන කාලයේ නව ආරක විරෝධයක් ආවේය.

“ලංකාවේ මත්ස්‍ය සම්පත කොල්ලකන්න එන්නේ. මේක රටට මහා විනාශයක්. මුළු රටම ඉවරයි. ඒ විතරක් නෙවේ මේකෙන් ශ්‍රී මහා බෝධියත් විනාශ වෙනවා.”

සමහර අවස්ථාවාදීන් එහෙම බිල්ලෝ මැවීය.

අද ජාතික විදුලිබල නිෂ්පාදනයේ වැඩි පංගුවක් දෙන්නේ නොරොච්චෝලේය.

මහවැලිය හදන විට කීවේ මේ මහා ජලාශ නිසා කඳු නාය යෑමට ලක්විය හැකි බවය.

“මේක ජාතියේ බොටුව හිර කරන වැඩක්. මුළු කඳුකරයම ඉවරයි. මහවැලිය නිසා පන්සල් යට වෙනවා. ‘මේක මහා පාපයක්” කියා ඒ කාලයේ සමහරු චෝදනා කළහ.

“ඕකට බි්‍රතාන්‍යය ආධාර කරන්නේ නිකං නෙවේ. අපි දෙවැනි වතාවට සුද්දට යටත් කරන ගිවිසුමක් ඕක. එහෙම නැතිව රැජින ඕකට උදවු කරන්නේ නෑ.”

ඒ තවත් අය කී කතාය. අද මහවැලිය තරම් යෝධ ව්‍යාපෘතියක් හිතාගන්නටවත් බැරිය.

බහුකාර්ය සහ දිගුකාලීන මහවැලි සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන යෝජනා ක්‍රමයයි. ව්‍යාපෘතියේ වැඩකටයුතු සඳහා බි්‍රතාන්‍යය, ජර්මනිය, කැනඩාව, ස්වීඩනය වැනි රටවලින් ආධාර හිමි විය. මහවැලි ගඟත්, එහි අතු ගංගාත්, මාදුරුඔයත් ආශි්‍රත කොටගෙන දේශීය භූමි ප්‍රමාණයෙන් 39%ක් පමණ වූ ප්‍රමාණය සංවර්ධනය කිරීමත්, රටට අවශ්‍ය විදුලි බලය නිපදවා ගැනීමටත්, ඇතැම් ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීමටත්, නව ගොවි බිම් ඇතිකිරීමටත්, නව ජනාවාස බිහිකිරීමත්, එමඟින් නව රැකියා අවස්ථා ලබා දීමත්, මහවැලි මහ සැලැස්මෙන් අපේක්ෂා කෙරිණි. කෘෂිකර්මාන්තය නවීකරණය වීම, සත්ත්ව පාලනය, කෘෂිකර්මය පාදක කරගත් කර්මාන්ත සංවර්ධනය කිරීම අනෙකුත් අපේක්ෂිත අරමුණු විය. එය අති මහත් පංගුවකින් සාර්ථක විය.

විවෘත ආර්ථිකයෙන් පස්සේ ලංකාවට ඇඟලුම් කර්මාන්තය ආවාම එවකට විපක්ෂය හිනා වුණා සුද්දන්ට ජංගි මහනවා කියලා. එහෙත් ප්‍රේමදාස ඇඟලුම් කම්හල් 200ක් ඉදිකිරීම් මඟින් ගමේ වෙසෙන තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කළේය. මෙතෙක් කල් සිදුවූයේ ගමෙන් නගරයට පැමිණ රැකියා කිරීමය. එම ක්‍රමයට තිත තබමින් ගම තුළ ඇඟලුම් කම්හල් ඉදිකර ඊට අවශ්‍ය ශ්‍රමය ගම තුළින්ම ලබා ගත්තේය. ඉන් ගමට මුදල් ගලා ආවේය. ඇඟලුම් කම්හලක් ගම තුළ ඉදිකර නැවතුණේ නැත. ඊට සමගාමීව ඔරලෝසු කණුවක්ද ගම තුළ ඉදිවිය.

යහපාලන ආණ්ඩුව කළ අනගිතම පින්කම කුමක්ද කියා ඇසුවොත් දෙන්න තිබෙන පළමු පිළිතුරක් වන්නේ ‘සුව සැරිය’ ව්‍යාපෘතිය ය. එය ගම් නියම්ගම් සිසාරා අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක 24 පැය සේවාවකි.

එහෙත් මේ ගිලන් රථ සේවාව හඳුන්වා දෙනවිට වාචාලයන් කීවේ කුමක්ද?

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කීවේ ‘මේ අවදානම් ගිලන් රථවලට නඟින්න එපා’ කියාය.

අද සිදුව තිබෙන්නේ කුමක්ද?

“මේ ගිලන් රථ සේවයෙන් කරපු පින්කමම ඇති නිවන් දකින්න.”

එහෙම කියන්නේ අහිංසක ජනතාවය.

ඇමරිකානු පුරවැසියන් දෙදෙනකු විසින් 2007දී අස්සන් කරන ලද “අත්පත් කර ගැනීම සහ අන්තර් සේවා පිළිබඳ ගිවිසුම” මඟින් ලංකාව අනතුරට තල්ලු කළේ ඇමරිකානුවන්ම දෙදෙනෙකි. අයෙක් ඇමරිකන් ජාතික රොබර්ට් ඕ බ්ලේක්ය. අනෙකා ඇමරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂය.

ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවේදී නලින්ද ජයතිස්ස මන්ත්‍රිවරයා මේ ගිවිසුම ගැන කතා කර තිබිණි. එම අවස්ථාවේදී වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා නැඟී සිට මෙසේ කියා තිබිණි.

“අපි මේ පිළිබඳව එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ලියලා ඇහුවා කොහොමද මේක වෙන්නෙ කියලා. එතුමා මට දුන්න උත්තරය තමයි මම ජනාධිපති. තානාපති කෙනෙකුයි අමාත්‍යාංශ ලේකම් කෙනෙකුයි අස්සන් කරපු ගිවිසුමක් වලංගු නැහැ කියලා.”

විමල්ලා කියන විදිහට ලංකාව ගිලින්න බලාගෙන ඉන්න ඇමරිකාව එක්ක තීරණාත්මක ගිවිසුම ගැහුවේ මහින්දගේ ආණ්ඩුවය. හරියටම කීවොත් එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇමරිකන් තානාපති රොබර්ට් ඕ බ්ලේක්ය.

ඒ 2007 වර්ෂයේ මාර්තු 05 වැනිදාය.

මේ ගිවිසුම එදා අස්සන් කළේ රහසිගත ලෙසය. එදා කැබිනට් මණ්ඩලයවත් දැනගෙන හිටියේ නැත. රටවල් දෙකක් වෙනුවෙන් ගිවිසුමක් අස්සන් කරද්දී දෙපාර්ශ්වයටම නියෝජිතයන් සිටිය යුතුය. හැබැයි එදා ලංකාව ගැන තීරණාත්මක ගිවිසුමකට අස්සන් කරන්නේ ඇමරිකාවේ පුරවැසියන් දෙදෙනෙකි. ආයුධ පද්ධති, මිසයිල, ටෝර්පිඩෝ, න්‍යෂ්ටික අවි, රසායනික අවි ආදිය මෙකී ගිවිසුම අනුව හුවමාරු කර ගැනීම තහනම් යැයි සඳහන් නමුත් සැපයුම් සහාය, සැපයීම සහ සේවා මූලික වූ මෙකී ගිවිසුම අනුව උණ්ඩ, කඳවුරු ක්‍රියාන්විත සහාය අන්තර්ගතය. කඳවුරු ක්‍රියාන්විත සහායේදී කඳවුරු ඉදිකිරීමත් අන්තර්ගත කර තිබේ. උණ්ඩ යැයි කී විට ටෝර්පිඩෝ ආදිය උණ්ඩ ලෙස අවශ්‍ය නම් ගිනිය හැකිය.

මූලික වශයෙන් රටවල් දෙක අතර ඒකාබද්ධ පුහුණුවීම් ආදී අවස්ථා සඳහා පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් මේ ගිවිසුම අස්සන් කරනු ඇතැයි මුලින් සඳහන් වුවද ඊට යටින් ‘අනපේක්ෂිත අවස්ථාවන් හිදී’ සහ හදිසි අවස්ථාවලදීද’ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ බලය ලබාදී තිබීම සැලකිය යුතුය.

රාජපක්ෂලා විසින් එක් අතෙකින් ගෙවාගත නොහැකි ණය ගනිමින්, වෙනම භූමිභාග සින්නක්කරවම ලබා දෙමින් රට චීනයට ගොදුරු කරන ලද අතර, අනෙක් අතින් මෙවන් ගිවිසුමකින් ඇමරිකාවටද ඕනෑම අවශ්‍ය අවස්ථාවක රටේ භූමිය තම යුද කටයුතු සඳහා භාවිත කිරීමටද අවස්ථාව සලසා දී තිබීමෙන් ශ්‍රී ලංකාව නමැති මාතෘභූමිය මහ බලවතුන්ගේ පන්දු පිටියක් බවට පත්කරන ලදී. ඉන් නොනැවතී මුස්ලිම් අන්තවාදී තවුහිද් ජමාද්ටද, බෞද්ධ අන්තවාදී බොදුබල සේනාවටද, හින්දු අන්තවාදී ශිව සේනාටද එකම රහස්‍ය ගිණුමකින් මුදල් ආධාර ලබා දෙමින් රටේ අන්තවාදය ආරම්භ කරමින් පෝෂණය කළෝය. ඒ සියල්ල අවසානයේ ව්‍යවස්ථාවද කඩමින් බලයක් නොමැතිව අගමැති ධුරයක් ලබාගෙන රට කුමන්ත්‍රණයකට භාජන කර අරාජික රාජ්‍යයක් බවටද පත් කරමින් දුර්වල රාජ්‍යයකට පාර කපා සතුරන්ගේ පහසු ඉලක්කයක් බවටද පත් කළේය.

ඇමරිකාවට දිවි දෙන්න දිව්රූ පුරවැසියා ලංකාව වෙනුවෙන් එදා තීරණාත්මක ගිවිසුම අස්සන් කරන විට දේශප්‍රේමියෝ ‘හ්ම්’ කීවේ නැත.

“ඇමරිකාව යුද්දෙට උදවු කරනවා, ඒ නිසා මේ ගිවිසුම ගහනවා.”

රාජපක්ෂ ආණ්ඩුව කීවේ එහෙමය. හැබැයි යුද්දෙට සහය දෙනවා කීව ඇමරිකාව එදා ලංකාව ගිලගත් හැටිත්, යුද්ධයේ අවසන් දිනවල ඇමරිකන් නැව් උතුරු මුහුදේ සූදානම් කොට තිබ්බ හැටිත් කීවේ විමල්ලාමය.

ඒ විතරක් නොවේ එදා ශ්‍රී ලංකා-ඇමරිකා ආරක්ෂක ගිවිසුමට අස්සන් කළ රොබර්ට් ඕ බ්ලේක් ඊට ටික දිනකට පස්සේ 2012 පෙබරවාරි 14 කීවේ “ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඇමරිකාව සහය දැක්වනවා කියාය. තුන්කල් දකිනවාය කී මහා දේශප්‍රේමීන්ගේ වස්ත්‍ර ගැලවුණේ එහෙමය.

2010 දෙසැම්බර් 28 දින කොළඹ ජනාධිපති කාර්යාලයේදී මුද්‍රා තබා ඉහත ඇති ඔප්පුවේ අස්සන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේය.

කොළඹ පෝට් සිටි ව්‍යාපෘතියට අත තිබ්බේ චීනයයි. වැඩේ ආරම්භ කළේ උත්සවශ්‍රීයෙන්ය. දැන්වීම්වලින් කියැවුණේ ලොව මහා විස්මය කොළඹ සිදුවන බවක් වාගේය. “.රටට අලුත් දිවයිනක්.”, “ශ්‍රී ලාංකිකයන්ට උරුමයෙන් විවර වුණු පුරවරය”, “කොළොම්තොටේ අසිරි පුරයක් අභිමන් දේශයක ආශ්චර්ය”, “සංවර්ධනයේ සුවිසල් කඩඉම ඇරැඹේ”, “විදෙස් ධනය උපදන මහා ධන උල්පත නව රැකියා තෝතැන්නක්”, “කලාපයේ වාණිජ කෙන්ද්‍රස්ථානය” ආදී ආලවට්ටම් දැමූ වචනවලින් ඒ දැන්වීම් හැඩවැඩ විය.

මහින්ද චීනය එක්ක ගහපු ගිවිසුම් ගැන කවුරුවත් සද්ද නැත. “චීනයේ හොඳම බඩු ඇත්තේ දෙකකි. එනම් චීන මහා ප්‍රාකාරයත් චීන වෛශ්‍යාවනුත් පමණි” යනුවෙන් කතාවක් තිබේ. චීන වෑයම ආර්ථිකය ඔස්සේ චීන නව යටත් විජිතවාදය ස්ථාපිත කිරීමය. ඔවුන් ඇමරිකාවේ සුප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වූ ජෙනරල් මෝටර්ස් සමාගම 2010.11.18 දින ඇමරිකානු ඩොලර් මිලියන 500කට මිලට ගත් අතර ජී.එම්. ග්ලෝබල් ස්ටීරින්ග් සමාගමද 2010.07.07 දින ඇමරිකානු ඩොලර් මිලියන 450කට මිලට ගත්තේය. ඇමරිකාවේ අභ්‍යවකාශ විද්‍යා සමාගමක් වූ ටි්‍රපල් එච්. කෝල් සමාගමද 2012.03.12 දින ඇමරිකානු ඩොලර් මිලියන 541කට මිලට ගත්තේය.

දැවැන්ත සමාගම් වූ බල ශක්ති ක්ෂේත්‍රයේද ඒඊඑස් කෝපරේෂන්

සමාගම ඩොලර් බිලියන 1,581කටද, ඔයිල් ඇන්ඩ් ගෑස් ඇසට් සමාගම ඩොලර් බිලියන 2.2කට දළ මූල්‍ය අංශයේ මෝගන් ස්ටැන්ලි සමාගම ඩොලර් බිලියන 5579කටද, ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝපරේෂන් සමාගම ඩොලර් බිලියන 4,229කටද, ආහාර අංශයේ ස්මිත් ෆීල්ඩ් ෆුඩ්ස් සමාගම ඩොලර් බිලියන 7,099කටද, තාක්ෂණික අංශයේ අයි.බී.එම්. සමාගම ඩොලර් බිලියන 1.75කටද චීන්නු විසින් මිලට ගත්හ.

1996 සිට 2014 දක්වා මෙලෙස විශාල ඇමරිකානු සමාගම් 51ක් චීනය සතු කොටගෙන ඇත.

“මගේ ගාව ඔය හැමෝගෙම ෆයිල් තියෙනවා. ඒත් මම ඒවා අදින්නේ නෑ. “දෙදහස් පහළවේ” ඡන්දෙ කට උඩ තියාගෙන මහින්ද එහෙම කීවේය. මෛත්‍රි විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ ගමන් මහින්ද කී ඒ කතාවට මහින්ද කඳවුරෙන්ම විරෝධතා ආවේය. “ෆයිල් තියෙනවා නම් එළියට නොදා ඉන්නේ මොකද?” කියා මහින්දගේ ඇමැතිවරු ඇසූහ. පරාජය කට උඩ තියාගෙනවත් මහින්ද ඇද්ද ෆයිල් එකක් නැත.

වරක් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ආන්‍ෙදා්ලනාත්මක හෙළිදරව්වක් කරනු ලැබීය. එහි වූයේ ශ්‍රී ලංකාවම චීන ණය උගුලක හිර කර ඒ ණයවලින්ම මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයට අඩුම ගණනේ ඩොලර් මිලියන 7.6කට අධික මුදලක් යොදවා ඇතැයි කියාය.

ඒවා දැන් හැමෝටම අමතක වෙලාය.

ඊට පස්සේ ඒ ආණ්ඩුව බැස්සේ “ෂැන්ග්‍රිලා හෝටල් ව්‍යාපෘතිය”ටය. රුපියල් මිලියන 44,880ක ව්‍යාපෘතියක් ලෙස ඇස්තමේන්තු කර තිබූ එයට විදේශ සේවකයන් 30 දෙනකුට හා දේශීය සේවකයන් 432 දෙනකුට රැකියා ලබාදෙන්නට සැලසුම් කොට තිබුණේය. ෂැන්ග්‍රිලා ගනුදෙනුවට සෘජුවම සම්බන්ධ වෙන්නේ රජය වෙනුවෙන් ආණ්ඩුවය. සාමාන්‍යයෙන් නීතිය වන්නේ මෙවැනි ව්‍යාපෘති අස්සන් කරන්නේ ආයෝජන මණ්ඩලය සමඟ වීමය. එහෙත් ඉඩම් සින්නක්කරේට තබා බද්දටවත් දෙන්න අයිතියක් ආයෝජන මණ්ඩලයට නැති නිසා ෂැන්ග්‍රිලා විකුණන්නේ රජය විසින්ය. ඉඩම් කොමසාරිස්ගේ 4/10/33433 අංක දරන සින්නක්කර ඔප්පුව 2010 දෙසැම්බර් 28 දින කොළඹ ජනාධිපති කාර්යාලයේදී මුද්‍රා තබා ලබාදී ඇත්තේ එවක ජනාධිපතිවරයා විසින්ය.

ඇමරිකානු ඩොලර් මිලියන 75ක් හෙවත් එවකට රුපියල් මිලියන 8,250කට එය සින්නක්කරව ලබාදී ඇත.

වරක් යහපාලන ආණ්ඩුවට ගෙනා චෝදනාවක් වූයේ සිංගප්පූරු කුණු ගේනවා කියාය. හැබැයි කුණු ආනයනයට මඟ පෑදුණේ හිටපු මුදල් ඇමැති ලෙස එවක මහින්ද රාජපක්ෂගේ විශේෂ ගැසට් පත්‍රයකින් බව හෙළි විය. යහපාලන කාලේ කටුනායක ගබඩා කර තිබී සොයාගන්නා ලද බි්‍රතාන්‍යයෙන් ගෙන්වූ බවට පැවැසෙන කුණු කන්ටේනර් 98 ආනයනය සඳහා අවසර ලැබී ඇත්තේ එවක මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් අනුව බව අනාවරණය වේ. 2013.7.11 දිනැති 1818/30 දරන විශේෂ ගැසට් පත්‍රයෙන් හා එම ගැසට් පත්‍රය අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රේගු ප්‍රධානීන්ට යවන ලද ලිපිය මඟින් ඒ බව අනාවරණය වේ.

දැන් මේ සියල්ල ඔප්පු කරන්නේ ගිවිසුම්වලට කප් ගැසුවේ කවුද කියලාය.

ඊටත් වඩා ඔප්පු වෙන්නේ අවස්ථාවාදී වාචාලයන්ගේ “ලැජ්ජා නැතිකම රෙද්ද පල්ලෙන් බේරෙන” හැටිය.

මේඝනාද