දියණියගේ පාසල අසලදීම තාත්තා කිණිස්සකින් ඇන අම්මා මරා දමලා

0
17

පවුල් ආරවුලක් දුරදිග ගොස් මව සමඟ අමනාප වී සිටි පියා බොරුවක් කියා සිය දියණිය ලවා මව පාසලට  ගෙන්වාගෙන ඇය කුරිරු ලෙස කපා කොටා ඝාතනය කර ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය, මහදිවුල්වැව පදිංචි 35 හැවිරිදි සෞම්‍යා  සඳමාලි දිසානායක නමැති දෙදරු මවකි.  සිවිල් ආරක්ෂක භටයකු වන 42 හැවිරිදි සැකකරු මීට වසරකට පෙරද මෙසේ සිය බිරියට පිහියකින් ඇන තිබෙන අතර ඒ පිළිබඳ අධිකරණයේ නඩුවක්ද පවතින බව පොලිසිය කියයි.

විටෙන්විට ඇති වන පවුල් ආරවුල් තත්ත්වයක් දුර දිග යෑම හේතුවෙන් මව විසින් තම 17 හැවිරිදි දියණිය මහදිවුල්ලෑව පාසලින් දියණිය ඉවත් කර පූනෑව පාසලට ඇතුළත් කර ගැනීමට අවශ්‍ය බව ස්වාමියාට කිහිප දිනක් පවසා ඇත. අනතුරුව මෙම පියා විසින් දියණිය ලවා  ඊයේ (17දා) උදෑසන 8.30 පමණ මහදිවුල්වැව පාසල වෙත දියණිය ඉවත් කර දීමට පැමිණෙන ලෙස මවට පණිවුඩයක් යවා ඇත. මෙම පාසලට ආසන්න පවුලේ ඥාති නිවෙසක නැවතී සිටි මව එම අවස්ථාවේම දියණියගේ පණිවුඩය හමුවේ පාසල වෙත පැමිණ තිබේ.

අනතුරුව යතුරුපැදියෙන් පැමිණි මෙම පියා පාසලට මීටර් 600ක් පමණ දුරකදී මවට ළං වී එක්වරම තම ඉණේ සඟවාගෙන සිටි තියුණු උල් සහිත කිණිස්සකින් මවගේ ගෙල කපා ඇත. අනතුරුව ශරීරයේ කිහිප ස්ථානයකටද පිහි පහරවල් එල්ල කර පලා ගිය සැකකරු වස පානය කිරීම හේතුවෙන් මැදවච්චිය රෝහල වෙත රැගෙන විත් පොලිස් අත්අඩංගුවට පත්ව ප්‍රතිකාර ලබමින් සිටී. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතාගේ උපදෙස් පරිදි පැවැත්වේ.

මැදවච්චිය – ගයාන්