ජැක්ලීන්ට කෝටි 200ක කප්පම් චෝදනාවක්

0
220

ඉන්දීය රුපියල් කෝටි 200ක දැවැන්ත කප්පම් චෝදනාවකට ලක්ව සිටින මූල්‍ය ජාවාරම්කරුවකු වන සුකේෂ් චන්ද්‍රශේකර්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ චූදිතයකු ලෙස ශ්‍රී  ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් නම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ඉන්දීය මූල්‍ය බුද්ධි තොරතුරු ඒජන්සියක් Enforcement Directorate (ED) දිල්ලි අධිකරණයේ ගොනු කරන ලද පරිපූරක චෝදනා පත්‍රයේ ඇයව මෙලෙස චූදිතයකු ලෙස නම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මීට පෙර, දිල්ලි පොලිසිය විසින් චන්ද්‍රශේකර් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ, ඔෟෂධ නිෂ්පාදන දැවැන්තයකු වන රැන්බැක්සි සමාගමේ හිටපු ප්‍රවර්ධකයන් වන ආදිති සිංග් සහ ශිවෙන්ද්‍ර සිංග් රවටා ඉන්දීය රුපියල් කෝටි 215ක පමණ මුදලක් ලබා ගත් බවට චෝදනා කරමිනි.

එම සිද්ධිය සැලකිල්ලට ගනිමින් ඉන්දීය මූල්‍ය බුද්ධි තොරතුරු ඒජන්සිය, මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනය ආරම්භ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔවුන්ගේ පළමු චෝදනා පත්‍රයේ සඳහන් කර ඇත්තේ, චන්ද්‍රශේකර් වංචා කළ බව කියන මුදල් භාවිත කළ ආකාරයයි. එහි පරිපූරක චෝදනා පත්‍රයේ සඳහන් කර ඇත්තේ චන්ද්‍රශේකර්, ෆර්නැන්ඩස්ට වංචා කළ මුදලින් ඉන්දීය රුපියල් කෝටි 5කට වඩා වටිනා තෑගි ලබා දුන් බවය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එම අපරාධයෙන් ලද ආදායමෙන් තෑගි මිලදී ගත් බව ඇය දැන සිටි බවට චෝදනා කරමින් ජැක්ලින් ෆර්නැන්ඩස් අදාළ නඩුවේ චූදිතයකු ලෙස නම් කර ඇති බවය.

ඉන්දීය මූල්‍ය  බුද්ධි තොරතුරු ඒජන්සිය විසින් මීට පෙර ඇයට අයත් වත්කම් සම්බන්ධයෙන්ද ප්‍රශ්න කර තිබිණි. එහිදී එම ඒජන්සිය අප්‍රේල් මාසයේදී මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත (PMLA) යටතේ ඇයගේ ඉන්දීය රුපියල් කෝටි 7 වත්කම් තාවකාලිකව තහනම් කිරීමටද පියවර ගෙන තිබිණි.

ඉන්දීය මූල්‍ය බුද්ධි තොරතුරු ඒජන්සිය චෝදනා කර ඇත්තේ, ජැකලින් ලද තෑගි අතර ඉන්දීය රුපියල් ලක්ෂ 52ක් වටිනා අශ්වයකු සහ ඉන්දීය රුපියල් ලක්ෂ 9ක් වටිනා පර්සියානු බළලෙකු සිටි බවය.

එමෙන්ම චන්ද්‍රශේකර් ඇයගේ පවුලේ සාමාජිකයන්ට විශාල මුදලක් ලබා දුන් බවටද චෝදනා කර ඇත. සුඛෝපභෝගි සන්නාමයන් වන Gucci ~ƒ Chanel වෙතින් ඇයට බෑග් සහ ඇ¾දුම්ද ලැබී ඇති බවට චෝදනා එල්ල වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එම වාර්තා පෙන්වා දුන්නේ, ඉන්ටර්නෙට්හි පළ කරනු ලබන නාට්‍ය මාලාවක් (webseries project) ලිවීම සඳහා අත්තිකාරමක් ලෙස චන්ද්‍රශේකර්, ෆර්නැන්ඩස් වෙනුවෙන් පිටපත් රචකයකුට ඉන්දීය රුපියල් ලක්ෂ 15ක් ලබාදී ඇති බවටද චෝදනා එල්ල වන බවය.

චන්ද්‍රශේකර් සහ ඔහුගේ බිරිය ලීනා මාරියා පෝල් ද ඇතුළුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් අට දෙනකු ඉන්දීය මූල්‍ය  බුද්ධි තොරතුරු ඒජන්සිය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය  වැඩිදුරටත් වාර්තා කර තිබේ.

තාරක සම්මාන්