ගජමුතු හතරයි සැකකරුවන් හතරයි මොනරාගලදී පොලිස් දැලේ

0
14

අම්පාර ප්‍රදේශයේ සිට මෝටර් රථයකින් මොනරාගලට රැගෙන එමින් තිබූ ගජමුතු හතරක්  සමඟ සැකකරුවන් සිවු දෙනකු පෙරේදා (16) මොනරාගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මොනරාගල, වැලියාය පිරිවෙන අසලදී මෝටර් රියක් පරීක්ෂා කිරීමේදී එහි සිටි සැකකරුවන් සිවු දෙනා ළඟ තිබූ ගජමුතු හතරක් සමඟ ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන හතරක්ද පොලිසිය භාරයට ගෙන ඇත. උස්වැව ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවළක් සහ අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ අතර මෙම ගජමුතු මොනරාගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමට රැගෙන එමින් තිබූ බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ශ්‍රී  ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත ඒ පිළිබඳව මොනරාගල පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව පොලිසිය මඟින් වැටලීම සිදුකර ඇත. සැකකරුවන් සහ ගජමුතු මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝගයක් මඟින් ගජමුතු පුරාවිද්‍යා නිලධාරීන්ට ඉදිරිපත් කොට ඒ පිළිබඳව වාර්තාවක් ලබාගැනීමට නියමිතය.

මොනරාගල පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ජානක රත්නසිරි මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් සැරයන්වරුන් වන සමන්ත (21692), අනුර (39752), පොලිස් කොස්තාපල්වරුන් වන මුණසිංහ (46666) සෝමරත්න (66475),  (72341), අජිත්  අතුල (67951), මිහිරංග (29875) යන නිලධාරීන් වැටලීම සිදුකර ඇත.

බිබිල – නදුන් ගුණතිලක