කෝටි ගණනක් අපතේ යවමින් ත්‍රි’මලය මැක්හෙයිසර් පිහිනුම් තටාකය අභාවයට

0
27

මීට වසර කිහිපයකට පෙර කෝටි ගණනක් වැය කර ත්‍රිකුණාමලය මැක්හෙයිසර් ක්‍රීඩාංගණයේ ඉදිකරන ලද පිහිනුම් තටාකය මේ වනවිට භාවිතයට ගත නොහැකි ලෙස අබලන්ව තිබීම නිසා මෙහි සේවය ලබාගත් ජල ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ, පොලිස් ක්‍රීඩා සමාජ මෙන්ම ජල ක්‍රීඩකයන්ද මහත් අසීරුතාවට පත්ව සිටිති.

මෙම තටාකය මීටර් 50ක පමණ දිගකින් යුක්ත වන අතර ඒ නිසා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් බිහිකිරීමටද හැකියාවක් තිබේ. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජල ක්‍රීඩාවට කැමැති තරුණ තරුණියෝ විශාල පිරිසක් මෙයින් ප්‍රයෝජන ගත්හ. එහෙත් මේ වනවිට බොහෝ පිරිසක් ජල ක්‍රීඩාව අතහැර ගොස් ඇති අතර සීමිත පිරිසක් තවමත් මුහුදේ තම පුහුණු කටයුතුවල යෙදෙති.

මේ පිළිබඳව ත්‍රිකුණාමලය පිහිනුම් පාසලේ ප්‍රධානී නන්දන විජේලාල් මහතා ප්‍රකාශ කළේ මෙවැන්නකි.

මුහුද තිබුණත් මෙහෙ ළමයින්ට පිහිනන්න බැරිවයි හිටියේ. අපි ඒ තත්ත්වය වෙනස් කළා. දරුවන්ට පිහිනුම් පුහුණු පාඨමාලා ඇති කළා. දිස්ත්‍රික් මට්ටමට, පළාත් මට්ටමට සුදුසුකම් ලැබෙන විධියට දරුවන් පුහුණු කළා. දැන් එහි නඩත්තුව නිසි පරිදි නොකරන නිසා පුහුණුවීම් නිසි පරිදි කරගන්න බෑ. දරුවන්ගේ දක්ෂතා ඔපමට්ටම් කරන්න තව විශාල වැඩ කොටසක් කරන්න තිබෙනවා. අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ පිහිනුුම් තටාකය භාවිතයට ගත හැකි මට්ටමට එහි නඩත්තු කටයුතු කරගෙන යෑමට උදවු ලබාදෙන ලෙසටයි.

මෙම තටාකය අයත් වන්නේ ත්‍රිකුණාමලය නගර සභාවට බැවින් අප එහි ලේකම් වී. රාජසේකර් මහතාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට භූමිතෙල් ප්‍රශ්නය හා  කැඩී ඇති එහි මෝටරය අලුත්වැඩියා කර ගැනීමට අමතර කොටස් කොළඹත් නැතැයි පැවැසුවේය.

කන්තලේ _ ඩබ්.එම්. වික්‍රමසිංහ