කෝටිපති ව්‍යාපාරිකයා මඟුල කරගෙන කපුකම කළ කතට පොල්ල තියලා

0
32

මවුපියන්ගේ ඉල්ලීමක් පරිදි කැකිරාව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුට මඟුල් කපුකමක් කළ බව කියන කාන්තාවක ඊට අදාළ කපු ගාස්තුව මනාල පාර්ශ්වය විසින් නොගෙවා මඟහරින බවට විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් ඊයේ (17දා) කැකිරාව නගරයේදී විරෝධතාවක නියැළුණාය.

මෙලෙස විරෝධතාවේ නිරතවන්නේ ගල්නෑව පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවකි. ඇය මේ වනවිට එම සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසියටද පැමිණිලි කර තිබේ.

විරෝධතාවේ නිරත අදාළ කාන්තාව පවසන්නේ මීට වසර දෙකකට පමණ ඉහතදී තමන් කැකිරාව ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු හට එම ව්‍යාපාරිකයාගේ මවගේ ඉල්ලීම මත මංගල යෝජනාවක් ගළපා දුන් බවත් ඔවුන් ඉකුත් අප්‍රේල් 28 වැනිදා විවාහ වූ බවත්ය. එම අවස්ථාවේදී තමන්ට මංගල යෝජනා ගාස්තුව නිවෙසට රැගෙනවිත් දෙන බවට මනාල පාර්ශ්වය පොරොන්දු වුවද එය මෙතෙක් තමන්ට ලබා නොදී එම ව්‍යාපාරික මනමාලයා මඟහරිමින් සිටින බව එම කාන්තාව පවසයි.

 අදාළ කාන්තාව පවසන්නේ අදාළ මංගල යෝජනාව සම්බන්ධව මනාල පාර්ශ්වය තමන්ට රුපියල් 50,000ත් _ 1,00,000ත් අතර මුදලක් ගෙවීමට එකඟ වූ බවයි. එහෙත් පොරොන්දු පරිදි මනාල පාර්ශ්වය විසින් එම මුදල තමන්ට ගෙවීම පැහැරහරිමින් සිටින බවයි. එපමණක්ද නොව එම මනාල පාර්ශ්වය වූ ව්‍යාපාරිකයාගෙන් තමන්ට තර්ජන එල්ලවන බවද ඇය පවසන්නීය. මේ හේතුවෙන් තමන් මහත් අපහසුතාවකට පත්ව ඇති බවත් මෙය තම ජීවනෝපාය කරගත් තමන් දිර්ඝකාලීනව රෝගී තත්ත්වයකින් පෙළෙන බවත් මේ හේතුවෙන් තමන්ට අවශ්‍ය බෙහෙත් හේත් හෝ ලබා ගැනීමට තමන්ට මුදල් හිඟතාවක් පැනනැඟී ඇති බවයි.

අදාළ මනාල පාර්ශ්වය මෙලෙස පොරොන්දු වූ පරිදි මංගල ගාස්තුව නොගෙවීම සම්බන්ධයෙන්  ඇය මීට පෙර ගල්නෑව පොලිසියටද පසුව ඊයේ (17දා) දිනයේ කැකිරාව පොලිසියටද ඇය මේ සම්බන්ධයෙන් පැමිණීලි කිරීමෙන් පසුව අද දිනයේ  අදාළ මනාල යුවළගේ මංගල ඡායාරූප සහිත බැනරයක් හා විරෝධතා පුවරුවක්ද ගෙලෙහි එල්ලාගෙන කැකිරාව නගරයේදී එම කාන්තාව මෙලෙස විරෝධතාවේ නිරත විය. කැකිරාව පොලිස් ස්ථානය එම කාන්තාවගෙන් ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබේ.

මඩාටුගම _ ප්‍රසංග ඒකනායක