ඉන්දීය ලීග් කබඩි තරගාවලිය අහිමි වන ලකුණු

0
13

අමාත්‍යාංශයේ වගකීම් දරන ඉහළ නිලධාරීන්ගේ සහ ක්‍රීඩාව කරවන සෙසු බලධාරීන්ගේ කඹ ඇදිල්ල සහ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රෝ ලීග් කබඩි තරගාවලිය සඳහා තෝරා ගැනුණු ශ්‍රී  ලංකා ක්‍රීඩකයන් දෙදෙනාට එම තරගාවලිය සඳහා එක්වීමේ අවස්ථාව අහිමිව යෑමේ අවදානමක් මතුව ඇති බව ‘මව්බිම’ට වාර්තා වේ.

ඒ අනුව අදාළ තරගාවලියට එක්වීම සඳහා මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ වීසා බලපත්‍ර ලබා ගැනීමට ලිඛිත අවසරය ලබා දීම ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගතව ඇති බවද දැනගන්නට ඇත. කෙසේ වෙතත් අදාළ ක්‍රීඩකයන් දෙදෙනාට ඉන්දීය ප්‍රෝ කබඩි ලීග් තරගාවලි සංවිධායකයන් නිල ආරාධනාව පසුගිය 10 වැනිදාට පෙර ලබා දී තිබියදීත් මේ සම්බන්ධයෙන් ලිඛිත අවසරය ලබා දෙන ලෙස 10 වැනිදාටත් පෙර ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදු කර තිබියදීත් තවමත් එය ලබා දීම ප්‍රමාද කිරීමට නිලධාරීන් කටයුතු කර තිබීම අවාසනාවන්ත තත්ත්වයකි.

ඒ අනුව අමාත්‍යාංශ නිලධාරීන් අදාළ අවසරය ලබා දිය යුත්තේ ජාතික ක්‍රීඩා සභාව මගින් බව පවසද්දී ජාතික ක්‍රීඩා සභාව පවසා ඇත්තේ අදාළ අවසරය ලබා දිය යුතුව ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් බවයි. මෙම කඹ ඇදීම හේතුවෙන් අදාළ ක්‍රීඩකයන් දෙදෙනාට නිසි වේලාවට වීසා බලපත්‍ර ලබා ගැනීමත් නියමිත දිනයට ප්‍රෝ ලීග් කබඩි තරගාවලියේ තමන් නියෝජනය කිරීමට නියමිත කණ්ඩායම් සමඟින් එක්වීම සිදු කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද සඳහන්ය.

යම් හෙයකින් තවදුරත් අදාළ ක්‍රීඩකයින් දෙදෙනා වීසා බලපත්‍ර ලබා ගැනීම ප්‍රමාද කිරීම මත ප්‍රෝ ලීග් තරගාවලියට එක්වීම ප්‍රමාද කළහොත් ඔවුන් දෙදෙනා වෙනුවට ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී නොගත් නවක ක්‍රීඩකයන් දෙදෙනකු එම කණ්ඩායම් විසින් මිලදී ගැනීම සිදු කරනු ඇත.

කෙසේ වෙතත් මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණපා සිටින ශ්‍රී  ලංකා ජාතික කණ්ඩායමේ සාමාජික අස්ලාම් සාජා අද (18දා) ප්‍රෝ ලීග් කබඩි තරගාවලියේදී ඔහු නියෝජනය කිරීමට නියමිත බෙංගාලි වෝරියර්ස් කණ්ඩායම සමඟින් එක්විය යුතුව ඇත. එසේ නොවුණහොත් වෙනත් ක්‍රීඩකයකු ඊට ආදේශ කර ගන්නා බව ඔවුන් දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති බවද පැවැසේ. එපමණක් නොව ක්‍රීඩක වෙන්දේසියේදී තමිල් තලවාස් කණ්ඩායම මගින් මිලදී ගනු ලැබූ තනූෂන් ලක්ෂ්මන් මෝහන් එළැඹෙන සිකුරාදා දිනයට පෙර සිය කණ්ඩායම සමඟින් එක්විය යුතුව ඇත.

මේ අනුව ක්‍රීඩා බලධාරීන්ගේ කඹ ඇදිල්ල හේතුවෙන් මෙම ක්‍රීඩකයන් දෙදෙනාට ජාත්‍යන්තරයේ වඩාත් කැපී පෙනෙන කබඩි ලීගය වන ප්‍රෝ ලීග් කබඩි තරගාවලිය අහිමිව යෑමේ අවදානමක් මතුව ඇති අතර, එමගින් ඔවුන් දෙදෙනා හරහා මෙවන් අසීරු කාල වකවානුවක ශ්‍රී  ලංකාවට ලබාගත හැකිව තිබූ විශාල විදේශ විනිමයක් අහිමිව යෑම ද කනගාටුදායක සිදුවීමකි.