ඉන්දීය ණයෙන් ගෙනා හාල් මෙටි්‍රක් ටොන් 30,000ක් සත්ත්ව ආහාරවලට දීලා

0
11

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 20ක් වෙන් කළද කිසිවකුත් මේ වනතුරු බඩඉරිඟු ආනයනය කර නැතැයි ද මිනිස් පරිභෝජනයට සුදුසු සහල් මෙටි්‍රක් ටොන් 30,000ක් සත්ත්ව ආහාර ලෙස භාවිත කරන බවට තොරතුරු ඇතැයි ද වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු පැවැසීය.

ආහාර සුරක්ෂිතතා කමිටු රැස්වීම සඳහා ඊයේ (17දා) සහභාගි වෙමින් ඇමැතිවරයා මෙසේ සඳහන් කළේය.

SLS වැනි තත්ත්ව සහතික ලබා ගැනීම හරහා දේශීය නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය උසස් කරගැනීමෙන් එම භාණ්ඩ සඳහා වෙළෙඳපොළක් ඇති කර ගැනීමටත්, එම නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඛණ්ඩව පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳවත් මෙහිදී ඇමැතිවරයා සඳහන් කර ඇත.

එමෙන්ම මෙම කමිටුවේදී ගන්නා තීරණ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන බවද ඇමැති නලින් ප්‍රනාන්දු පවසා තිබේ.

ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමේ අරමුණින් කැබිනට් මණ්ඩල තීරණයක් අනුව පසුගියදා මෙම ආහාර සුරක්ෂිතතා කමිටුව ස්ථාපනය කළ අතර ඊයේ  ප්‍රථමවරට වෙළෙඳ අමාත්‍යාංශයේදී කමිටුව රැස්ව ඇත.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්, ධීවර අමාත්‍යාංශ ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ලංකා සතොස සභාපති, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති, මිල්කෝ සමාගමේ සභාපති, පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති, වී අලෙවි මණ්ඩලයේ සභාපති ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී තිබේ.

සඳුනි ගමාරච්චි