අපස්මාරය හොඳ වුණ නිසා පුතා අවුරුදු 8කට කලින් බෙහෙත් ගැනීම නතර කළා

0
83

“අකිල පුතා හැමදාම හවසට නිවෙස පිරිසුදු කරලා මල් කඩලා නිවෙස ඇතුළේ තැන් තුනක පහන් පූජා කරනවා. මම දවසක් පුතාට කිව්වා පුතේ තැන් තුනකට මල් පහන් පූජා කළත් එක තැනකට පූජා කළත් බුදු හාමුදුරුවෝ එක්කෙනයි කියලා. ඒත් අකිල පුතා දිනපතාම තැන් තුනකට මල් පහන් පූජා කරමින් සිටියා. ආගම දහමට ළැදිව සිටි මගේ පුතාට මොකද වුණේ කියලා හිතාගන්න බෑ” යැයි ගලිගමුවේ පීල්ලකින් දිය නෑමට ගොස් වැටී මියගිය තරුණයාගේ හදිසි මරණ පරීක්ෂණයේදී පියා වන 56 හැවිරිදි රාජමන්ත්‍රිගේ වසන්ත මහතා පෙරේදා (16දා) පැවැසීය.

මෙලෙස මියගොස් සිටියේ කෑගල්ල, ගලිගමුව පොල්වත්ත ලිපිනයේ පදිංචිව සිටි රාජමන්ත්‍රිගේ අකිල ඉෂාර නමැති 24 හැවිරිදි තරුණයෙකි. මෙම  තරුණයා ඉකුත් 11 වැනිදා  පෙරවරුවේ සිය යතුරුපැදිය සෝදා නිවෙස ආසන්නයේ පිහිටි පීල්ලකට දිය නෑමට ගොස්  වැටී සිටියදී පියා විසින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබිණි. කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා පෙරේදා (16දා) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබිණි.

මියගිය තරුණයාගේ හදිසි මරණ පරීක්ෂණය පෙරේදා (16දා) කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඉදිරියේදී කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී පැවැත්විණි. කෑගල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් ‍ෙදාරේරාජ් (27299) නිලධාරියා විමර්ශන කටයුතු කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජමන්ත්‍රිගේ වසන්ත මහතා,

මම 1989 වර්ෂයේදී ඩබ්ලිව්.ආර්. ශිරාණි පුෂ්පකාන්ති සමඟ විවාහ වුණා. අපට පිරිමි දරුවන්ම දෙදෙනෙක් සිටිනවා. ලොකු පුතා රාජමන්ත්‍රිගේ තාරක සිවන්ත මධුක දර්ශනයි. ලොකු පුතාගේ වයස අවුරුදු 32යි. ලොකු ඉතාලියේ රැකියාවක් කරනවා. එයා පසුගිය 09 වැනිදා ගෙදර ආවා. මම ත්‍රීවීලර් හයර් කරමින් සිටිනවා. බිරිය ගලිගමුවේ හෙළ බොජුන්හලේ සේවය කරමින් සිටිනවා.

දෙවැනි පුතා රාජමන්ත්‍රිගේ අකිල ඉෂාරයි. එයාගේ වයස අවුරුදු 24යි. පුතා කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා. පුතා පාසලේ වොලිබෝල් කණ්ඩායමේ නායකයා හැටියටත් කටයුතු කළා. ක්‍රීඩාවට හරි දක්ෂයි. පොලිස් දෙපාර්තමේන්තුවේ වොලිබෝල් කණ්ඩායමට බැඳෙන්න සියල්ල සපුරලා හිටියේ. එයාට කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට යන්න දිනයක් එනකම් ගෙදර හිටියා. පුතාට කුඩා කාලයේ අපස්මාරය සෑදී අවුරුදු 16ක් පමණ වෙනකම් බෙහෙත් ගත්තා. ඊට පස්සේ හොඳ වුණා. පස්සේ බෙහෙත් ගැනීම නතර කරලා හිටියා. 

එදා 10 වැනිදා රාත්‍රි කෑම කාලා 10ට පමණ නින්දට ගියා. පහුවදා 11 වැනිදා උදේ අකිල පුතා නැඟිටලා එයාගේ බයික් එක හෝදලා ඉවර කරලා ගේ ආසන්නයේ තියෙන පීල්ලට උදේ 9ට පමණ නාන්න ගියා. ටික වේලාවක් ගියාට පස්සේ පීල්ල ළඟ කාන්තාවන් පිරිසක් කෑ ගහනවා ගෙදර හිටපු මට ඇහුණා. පස්සේ මමත් පීල්ල ළඟට දුවලා ගියා. යනකොට ගමේ ඉන්න දෙන්නෙක් කවුද උස්සාගෙන එනවා දැක්කා. පස්සේ මම ළඟට ගිහින් බලනකොට අකිල පුතා කියලා හඳුනාගත්තා.

පස්සේ මම ඉක්මනට දුවගෙන ගෙදරට ගිහිල්ලා ත්‍රීවීලර් එක අරගෙන ඇවිල්ලා පුතා ත්‍රීවීලර් එකේ දාගෙන කෑගල්ල මහ රෝහලට අරගෙන ආවා. පුතා කෑගල්ල මහ රෝහලට අරන් එනකම්ම වචනයක්වත් කතා කළේ නෑ. පස්සේ කෑගල්ල මහ රෝහලට පුතා ඇතුළත් කළා. එදා ඉඳලා අකිල පුතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා. මට මේ මරණය සැකයක් නෑ. පීල්ල අසල වැටී ඉඳලා රෝහල්ගත කළාට පස්සේ මියගිහිල්ලා තියෙනවා යැයි පැවැසීය.

මියගොස් සිටි තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (16දා) කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිසංසලා ජයවීර මහත්මිය විසින් සිදු කළාය. අපස්මාරය සෑදී වමනය පිට වීමෙන් නිව්මෝනියාව සෑදී ලේ විස වී බහුවිධ අවයව අක්‍රිය වීමෙන් සිදු වූ ස්වාභාවික මරණයක් බවට කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය පියාට දැන්වූවාය. මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද (18දා) ගලිගමුවේදී සිදු කිරීමට නියමිතය.

දමුණුපොළ – චමින්ද ජයලත්