හෙක්ටයාර් ලක්ෂ 5ක අස්වැන්න නෙළන්න ඉන්ධන හරස්

0
12

යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ පහක වගාකර ඇති වී අස්වැන්න නෙළාගැනීම සඳහා ඩීසල් ලීටර් කෝටි දෙකක් අවශ්‍යව ඇතත් එම ප්‍රමාණය ලබාදීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් මෙතෙක් ඉදිරිපත් කර නැතැයි ගොවි සංවිධාන චෝදනා කරයි.

ඒ අනුව ලීටර් 6,600 බැගින් වූ බවුසර් 3,020ක ඩීසල් තොගයක් ගොවීන්ට ලබාදීමට කඩිනමින් තීන්දුවක් ගතයුතු බවද එම සංවිධාන අවධාරණය කරයි.

ගොවීන් වෙනුවෙන් ඉන්ධන පිරවුම්හලකට දිනකට ඩීසල් බවුසරය බැගින් ලබාදුනහොත් මෙම ගැටලුව විසඳිය හැකි බවද ගොවි සංවිධාන පෙන්වා දෙයි.

ඩීසල් ලබාදීමට අවශ්‍ය තීරණ ගැනීම් ප්‍රමාදවීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල අස්වනු නෙළීමේ කටයුතු සතියකට වඩා පමා වී තිබෙන බවද එම සංවිධාන චෝදනා කරයි.

මහවැලි ‘සී’ කලාපයේ  වී අස්වනු නෙළීමට ඩීසල් බවුසර් 138ක් අවශ්‍ය වුවද එම කලාපයට අයත් ඉන්ධන පිරවුම්හල් 05 වෙත මේ දක්වා පැමිණ ඇත්තේ බවුසර් හතරක් පමණක් බව ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා පැවැසීය.

එම කලාපයේ පිරවුම්හල් වෙත දිනපතා ඩීසල් බවුසරය බැගින් පැමිණියද අස්වනු නෙළීමේ කටයුතු අවසන් කිරීමට දින 27ක් ගතවන බවද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.

සැප්තැම්බර් 15-20 අතර කාලය තුළදී මහවැලි ‘සී’ කලාපයේ අස්වනු නෙළීම අවසන් කළ යුතු බවත් ඒ සඳහා තවත් ඉතිරිව ඇත්තේ  මාසයක කාලයක් පමණක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මොනරාගල, අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල අස්වනු නෙළීම ආරම්භ වී තිබුණද ඩීසල් හිඟයකට ගොවි ජනතාව මුහුණදී සිටින බවද හෙතෙම කීය.

මේ අතර මූලික පොහොර හා රසායනික ද්‍රව්‍ය නොමැතිව වී වගාකළ පොළොන්නරුව ගොවීන්ගේ අස්වනු කාලය ළඟාවී තිබුණද  ඉන්ධන ලබාදීමට වැඩපිළිවෙළක් සකසා නැති බව එම ප්‍රදේශවල ගොවි සංවිධාන පෙන්වා දෙයි.

කුඹුරු අක්කරයක වී නෙළීමට ඩීසල් ලීටර් 60ක් පමණ අවශ්‍ය බවත්, දැනට ගොවීන්ට ලීටර් හයක ප්‍රමාණයවත් නොලැබෙන බවත් එම සංවිධාන චෝදනා කරයි.

ඇතැම් ගොවීන් ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල සිටියදී වන අලින් ගම් වැද අස්වනු විනාශ කරන බවද පොළොන්නරුවේ ගොවි සංවිධාන පවසයි.

මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයන් සඳහන් කළේ එම ප්‍රදේශවල ගොවීන් අස්වනු නෙළීම සඳහා සති කිහිපයක සිට ඩීසල් ඉල්ලන බවයි.

දැනට අස්වනු නෙළීමේ කටයුතු සතියක් ප්‍රමාද වී තිබෙන බවත්, විශාල කුඹුරු යායවල් දෑකැත්තෙන් නෙළීම ප්‍රායෝගික නොවන බවත් එම සංවිධාන පෙන්වා දෙයි.

දිනපතා වන අලින් ගම් වැදීමෙන් කුඹුරු අක්කර සිය ගණන් විනාශ කරන බවද අම්පාරේ ගොවි සංවිධාන නායකයෝ සඳහන් කරති.

කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොවි ගැටලු පිළිබඳව නිසි අවබෝධයක් නොමැති බවත් ගොවීන් මුහුණපාන ගැටලුවලට ප්‍රායෝගික විස¾දුම් ඉදිරිපත්  කිරීමට කෘෂිකර්ම නිලධාරීන් අපොහොසත් වී ඇති බවත් ගොවි සංවිධාන චෝදනා කරයි.

අමිත් මධුරංග ගමගේ