හැටන් ඇබොස්ලි වතුයායේ නිවාස පේළියක ගින්නක්

0
16

හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතුයායේ මොන්ටිෆෙයාර් කොටසේ වතු නිවාස පේලියක ඊයේ (16දා) උදෑසන හටගත් ගින්නකින් නිවාස 06 ක් අර්ධ වශයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවැසීය. වතු නිවාස 20කින් සමන්විත නිවාස පේළියේ හටගත් ගින්න සෙසු නිවාසවලට පැතිර යෑම වළක්වා ගැනීමට එම වතුයායේ පාලන අධිකාරිය සහ වතු කම්කරුවන් සමත් වී ඇත.

වසා තිබුණු එක් නිවෙසකින් හටගත් ගින්න සෙසු නිවාසවලට පැතිර ගිය බවත්, ගින්නෙන් වතු නිවාස පේළියේ නිවාස 06ක් අර්ධ වශයෙන් විනාශ වී ඇති බව වතු පාලන අධිකාරිය පැවැසීය.

ගින්නෙන් කිසිවකුට තුවාල සිදුවී නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ගිනිගත් වතු නිවාසවලට ලබාදී තිබූ විදුලි බලය විසන්ධි කිරීමට හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවකයන් පියවර ගෙන ඇත. ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, මේ සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

නොර්වුඩ් – නීටා පත්ම කුමාරි