හම්බන්තොටට ආ චීන නැව උත්සවාකාරයෙන් පිළිගැනේ

0
59

ආන්දෝලනයට තුඩුදුන් චීනයේ යුවාන් වැංග් 05 චන්ද්‍රිකා නිරීක්‍ෂණ අධි තාක්‍ෂණ නෞකාව ඊයේ (16දා) පෙරවරු 08ට පමණ හම්බන්තොට වරායට පැමිණි අතර එය පිළිගැනීම සඳහා චීන තානාපති සියෑන් ලියන් මහතා ඇතුළු මැති ඇමැති පිරිසක්ද හම්බන්තොට වරායට පැමිණ සිටියහ. හම්බන්තොට වරාය විවෘත කිරීමෙන් පසු හම්බන්තොට වරායට පැමිණි නෞකා අතරින් ජාත්‍යන්තරයේ වැඩිම අවධානයක් යොමුවූ නෞකාව මෙය වන අතර මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීම වාර්තා කිරීම සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීහු විශාල සංඛ්‍යාවක් එක්ව සිටියහ.

යුවාන් වැංග් 05 නෞකාව පසුගිය 11 වැනි දින ලංකාවට ඇතුළුවීමට අවසර ඉල්ලා තිබූ නමුත් මෙම නෞකාව ලංකාවට ඇතුළුවීම සම්බන්ධයෙන් ඉන්දියාව විසින් දක්වා තිබූ විරෝධතාව හේතුවෙන් ලංකාවට පැමිණීම ප්‍රමාද කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය චීන රජයෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව නෞකාව හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලැබෙන තෙක් හම්බන්තොට වරායේ මුහුදු සීමාව ආසන්නයේ රැඳී සිටියේය.

හම්බන්තොට වරායට පැමිණීමට අවසර හිමිවීමත් සමඟ චීන නැව ඊයේ (16දා) පෙරවරු 8.00ට පමණ හම්බන්තොට වරායට පැමිණියේය. දෙදහසකට ආසන්න කාර්ය මණ්ඩලයක් සමඟ හම්බන්තොට වරායට පැමිණි මෙම නෞකාව පිළිගැනීම සඳහා වරාය පරිශ්‍රයේ උත්සවයක් සංවිධානය කර තිබුණු අතර මේ සඳහා චීන තානාපති සියෑන් ලියන් මහතා ඇතුළු පිරිසක් හා වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, සරත් වීරසේකර, අතුරලියේ රතන හිමි ඇතුළු මැති ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක්ද එක්ව සිටියහ. හම්බන්තොට වරායට පැමිණි යුවාන් වැංග් 05 නෞකාව 22 දින දක්වා හම්බන්තොට වරායේ නැංගුරම්ලා තිබේ.

මත්තල – ඩී.එන්. ජයසේකර