සෑම පක්ෂයක්ම අද සහයෝගය දීම මඟ හරිමින් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා

0
29

සෑම පක්ෂයක්ම සර්වපාක්ෂික ආණ්ඩුව නිර්මාණය සඳහා සහයෝගය දීම මඟ හරිමින් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩබ්ලිව්.ඩී. වීරසිංහ පවසයි.  ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (16දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි ඩබ්ලිව්. ඩී. වීරසිංහ මහතා මෙසේද කීය.

“මේ මොහොතේ අපේ රට තුළ තිබෙන කතිකාවත තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවාද නැද්ද කියන එක. මේ රටේ නිර්පාක්ෂික අරගලකරුවන් විසින් ඇතිකරපු  අරගලය දිය වුණා. රාජපක්ෂවරුන්ට යන්න කියලා ඉල්ලීමක් කළා. ඔවුන් තමන්ගේ ධුරවලින් ඉල්ලා අස්වුණා. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත්වුණා. එතුමා ජනාධිපතිවරයා බවට පත්වෙන්න කලින් මේ අරගලය කරපු පිරිස් සහ අද මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් කිව්වේ මේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය විසඳන්න නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕන කියලා. ඒ තුළින් ජාත්‍යන්තර සහය ලබා ගන්න පුළුවන් සහ අපි හැමෝම එකතුවෙලා මේ රට ගොඩනඟමු කියලා පහුගිය කාලයේ කිව්වේ.

නමුත් දැන් සර්වපාක්ෂික ආණ්ඩුවට එන්න කියලා ආරාධනා කළාම සජබය කියනවා මෙය රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවක් කියලා. අද එන්න බෑ කියනවා. රාජපක්ෂවරු අද සියලු දෙනාම තනතුරු අතඇරලා ගිහින් තිබෙනවා. ඒ මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන්. එහෙම තිබෙන අවස්ථාවක හැම පක්ෂයක්ම අද මේ වන විට මඟ හරමින් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් යන්න කටයුතු කරමින් සිටිනවා. සැබෑ ලෙස අරගලය කරපු අරගලකරුවන්ගේ වුවමනාවත්, මේ රට ගොඩනඟන්නත්, අපේ අනාගතය සුරක්ෂිත කරන්න පෙනී හිටපු දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ලබාගත්ත ජයග්‍රහණ පාවා දෙමින් ඉන්නවා. සත්භාවයෙන් ආරාධනා කරාම නොයෙකුත් හේතු කියමින් මෙය මඟ හරවනවා වෙනුවට මේ සඳහා එකතුවෙලා කටයුතු කරමු.

තාම රාජපක්ෂවරු භීතිකාවෙන් සිටින්නේ. රාජපක්ෂවරු දේශපාලන තනතුරුවලින් ඉල්ලා අස්වෙලා තිබුණ අවස්ථාවකත් අදට මාධ්‍යවලට පැමිණියාම රාජපක්ෂවරුන්ට චෝදනා එල්ල කරමින් සිටිනවා මිසක මේ තිබෙන ආර්ථික අර්බුදය, දේශපාලන අර්බුදය විසඳන්න ඒ අය කටයුතු කරන්නේ නෑ. මම හැම දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩගන්නවා නම් සියලුදෙනා එකතු වෙන්නයි අවශ්‍ය. ඒ නිසා ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ කකුලෙන් ඇදලා, ආණ්ඩුව පෙරළන්න හදලා තවදුරටත් මේ රටේ මිනිස්සුන්ව අසරණතාවයට පත් කරන්න එපා කියා ඉල්ලා සිටිනවා. එහෙම කරන්න ගියොත් තියෙන තැනින් තවදුරටත් පහළට ඇදගෙන වැටෙනවා.

එහෙත් දැන් යන්තමින් මේ අර්බුදය විසඳගන්න වැඩකටයුතු කරමින් ගොවියාට පොහොර දෙන්න කටයුතු කරලා තිබෙනවා. පහුගිය කාලයේ තිබුණු තෙල් අර්බුදය යම්තාක් හොඳ තැනකට ඇවිත් තිබෙනවා. මේ ප්‍රශ්න එකින් එක විසඳගන්න තිබෙනවා. ඒ  යනකොට එක එක ඒවා කියමින් මෙය කඩාකප්පල් කරොත් මේ රටේ මිනිස්සු නැවත පාරට බහියි. එයින් මේ රටේ ජනාධිපතිතුමා විතරක් නොවේ 225 ම එපා කියයි. මේ අවස්ථාවේ මැතිවරණයකට යන්න පුළුවන් වෙලාවක් නොවේ. මැතිවරණයකට ගිහින් නැවත මේ රටේ තිබෙන තත්ත්වය මීට වඩා දරුණු තත්ත්වයකට පත් කළයුතු නෑ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය