වල්ලපට්ට සොයන්න කලවානෙන් ආ තරුණයාගේ මළ සිරුර මාලිම්බඩ ඇළක

0
14

මාලිම්බඩ, ඕගස්පේ කම්බි පාලම අසල ඇළක තිබූ තරුණයකුගේ මළ සිරුරක් පෙරේදා (15දා) සොයාගත් බව මාලිම්බඩ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ඩබ්.ඒ. අසිත මධුෂාන් නමැති 22 හැවිරිදි විවාහක තරුණයෙකි. රත්නපුර, කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු තවත් යහළුවකු සමඟ තිහගොඩ කෑලෑබද ප්‍රදේශයක වල්ලපට්ට කැපීම සඳහා පැමිණ තිබූ බවත් තම සහෝදරයා දින කිහිපයක සිට අතුරුදන්ව ඇති බව සඳහන් කරමින් ඔහුගේ වැඩිමහල් සහෝදරයා ඉකුත් 10 වැනි දින තිහගොඩ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කර තිබිණි.

තිහගොඩ පොලිසිය මඟින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබියදී 14 වැනි දින මාලිම්බඩ පොලිසියට ලද තොරතුරක් මත මාලිම්බඩ, ඕගස්පේ කම්බි පාලම අසල ඇළක තිබී මෙම තරුණයාගේ මළ සිරුර  සොයා ගැනිණ.

15 වැනි දින මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර මාතර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යැවීමට කටයුතු කරනු ලැබීය.

මාලිම්බඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.සී. අලවත්ත මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂකවරුන් වන ජයතිලක, සරත් සමඟ පොලිස් සැරයන්වරුන් වන සරත් (56072), ලසන්ත (73350) යන නිලධාරීහු සහ තිහගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අතුරලිය _ එස්. විජිත, තෙලිජ්ජවිල _ වජිර පූජිත ගුණවර්ධන