වතු කම්කරු වැටුප 2,000ක් කළ යුතුයි

0
11

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දෙදහසක් දක්වා වැඩි කළ යුතු බව පහතරට වතු කම්කරුවන්ගේ සංගමය පවසයි. එදිනෙදා පරිභෝජන භාණ්ඩ හා සේවා මිල ගණන් වතු කම්කරුවන්ට දරා ගැනීමට නොහැකි මට්ටමේ පවතින බව එම සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ පැවැසීය. මේ වනවිට වතු කම්කරුවන්ට එදිනෙදා ආහාර පවා ලබාගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය. බොහෝ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස ඉක්මවා නොයන බවටද ඔහු පැවැසීය.

භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යෑමට සාපේක්ෂව දෛනික වැටුප වැඩි නොකළහොත් වතු මට්ටමින් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම අවධාරණය කළේය.

ඉන්ධන, ගෑස්, ප්‍රවාහන ඇතුළු  එදිනෙදා පරිහරණය කරනු ලබන සියලු දෑ සඳහා වතු කම්කරුවන්ට අධික පිරිවැයක් දැරීමට සිදුව ඇතැයි සභාපතිවරයා පෙන්වා දෙයි. තේ, රබර්, පොල්, කුරුඳු ඇතුළු වගාවන් පවතින වතු ආශ්‍රිතව ජීවත්වන කම්කරුවන් මුහුණදී ඇති අපහසුතාව සම්බන්ධයෙන් කිසිවකු සොයා බලා නැති බවද ගාල්ලගේ පවසයි.

වතු අයිතිකරුවන් හෝ රාජ්‍ය මට්ටමේ කිසිවකු ඒ සඳහා ඉදිරිපත් නොවුණු බවද ඔහු සඳහන් කළේය. වතු නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ තුළ වැඩි වටිනාකමක් හිමිව ඇති බැවින් කම්කරුවන්ට සහන දීමට වතු හිමියන්ට හැකියාව තිබෙන බවද ඔහු කීය.

අමිත් මධුරංග ගමගේ