රුපියල් ලක්‍ෂ 10ක් සමඟින් ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට

0
34

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලද ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් රෙඩ්ස් පිල පෙරේදා (15දා) රාත්‍රියේදී සමත් විය. එහිදී ධනංජය ද සිල්වා මෙහෙයවනු ලැබූ බ්ලූස් පිලට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කළ රෙඩ්ස් කණ්ඩායමට ශුරතා කුසලානය සමඟින් රුපියල් දස ලක්ෂයක මුදල් ත්‍යාගයක් ද හිමි විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව ලකුණු රැස්කළ බ්ලූස් පිල පන්දුවාර 20ක් අවසානයේදී කඩුලු 6කට රැස්කළ ලකුණු 136ට පිළිතුරු සැපයූ රෙඩ්ස් පිල පන්දුවාර 16.5කදී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්හ.

කෙසේ වෙතත් එම පහසු ඉලක්කය හඹා ගිය රෙඩ්ස් පිල වෙනුවෙන් ලකුණු 49ක සාර්ථක ආරම්භයක් ලඟා කර ගැනීමට නැවත වරක් ලසිත් කෘෘස්පුල්ලේට සහ කුසල් මෙන්ඩිස්ට හැකියාව ලැබිණි. කෙසේ වෙතත් ලකුණු 25ක් රැස්කරගෙන සිටි කෘෘස්පුල්ලේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ අතර, නැවතත් අසාර්ථක වූ භානුක රාජපක්ෂ ලකුණු 9ක් ලබා සිටියදී සුමින්ද ලක්ෂාන් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. කමිදු මෙන්ඩිස් ලකුණු 18ක් රැස්කළේය.

එසේ වුවත් නායකත්වයේ ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණ­ 56ක් වාරතා කරමින් රෙඩ්ස් පිල ජයග්‍රහණය වෙත රැගෙන ගිය අතර, ඔහුට අගනා සහයක් දැක්වූ වනිඳු හසරංග නොදැවී ලකුණු 24ක් ලබා ගත්තේය.

මෙහිදී පළමුව ලකුණු රැස්කළ බ්ලූස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලහිරු සමරකෝන් ලකුණු 6කට සීමා කිරීමට තීක්ෂණ සමත් වූ අතර, තීක්ෂණගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ සධීර සමරවික්‍රම ලකුණු 10කට ක්‍රීඩාගාරය වෙත පිය නැගීය. නායක ධනංජය ද සිල්වාට රැස්කරගත හැකි වූයේ ලකුණු 25ක් පමණි. ලහිරු උදාර ලකුණු 37කට දැවී ගියේය. බ්ලූස් පිලේ වගකීම කරට ගත් අශේන් බණ්ඩාර නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 40කි. ජනිත් ලියනගේට ලබාගත හැකි වූයේ ලකුණු 12ක් පමණි. චාමික කරුණාරත්න ලකුණු 2කට අසිත ප්‍රනාන්දු හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවිය.

ඒ අනුව අවසන් මහා තරගයේ වීරයා සහ තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස (වැඩිම ලකුණු ලාභියා වූ) කුසල් මෙන්ඩිස් සම්මාන දිනා ගත්තේය. තරග 4කදී කඩුලු 10ක් දවාගත් අසිත ප්‍රනාන්දු රුපියල් ලක්‍ෂ දෙකහමාරක් සමඟින් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගනිද්දී ප්‍රවීන් ජයවික්‍රම දක්ෂතම පන්දු යවන්නා බවට පත් විය.

ලකුණු පුවරුව

බ්ලූස්

(පන්දුවාර 20කදී කඩුලු 6කට) 136 (අශේන් බණ්ඩාර නොදැවී 40, ලහිරු උදාර 37, ධනංජය ද සිල්වා 25, ජනිත් ලියනගේ 12, සධීර සමරවික්‍රම 10,

මහීෂ් තීක්‍ෂණ 2/22, අසිත ප්‍රනාන්දු 2/31, දුනිත් වෙල්ලාලගේ 1/27, ළහිරු මධුසංක 1/10)

රෙඩ්ස්

(පන්දුවාර 16.5කදී කඩුලු 3කට) 137 (කුසල් මෙන්ඩිස් නොදැවී 56, ලසිත් කෘෘස්පුල්ලේ 25, වනිඳු හසරංග නොදැවී 24, කමිඳු මෙන්ඩිස් 18, ප්‍රවීන් ජයවික්‍රම 2/34, සුමින්ද ලක්‍ෂාන් 1/25)

ගමිත දෙහිපිටිය