රජයෙන් නිසි වැඩපිළිවෙළක් ආවොත් ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කරන්න සූදානම්

0
15

ලංකා ආණ්ඩුවක් නිසි වැඩපිළිවෙළක් ලබා දෙන්නේ නම් රට වෙනුවෙන් ඩයස්පෝරාව හා සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පැවසීය. තමන්ට ආණ්ඩුවේ අමාත්‍ය ධුර අවශ්‍ය නැති බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඩයස්පෝරා සංවිධාන හා පුද්ගලයන් රැසකට පනවා තිබුණු තහනම රජය විසින් ඉවත් කිරීම සම්බන්ධයෙන් කොළඹදී කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනෝ ගනේෂන් මහතා මෙසේද කීවේය.

ඩයස්පෝරා සංවිධාන කිහිපයක තහනම ජනාධිපතිවරයා විසින් ඉවත් කර තිබෙනවාග මම එය දකින්නේ  ඉතා සුබවාදී දෙයක් ලෙසයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ කටාර් චැරිටි කියන සංවිධානය තහනම් කරනු ලැබුවා. පසුව කාටර් රාජ්‍යයෙන් ඉන්ධන ලබා ගැනීමට අප රට උත්සාහ කළා. නමුත් බැරි වුණා. නමුත් මේ අවස්ථාවේ මෙම සංවිධානවල තහනම ඉවත් කිරීම මඟින් ලෝකයට සුබවාදී පණිවුඩයක් ලබාදී තිබෙනවා. දැන් අපි අලුතෙන් හිතන්න ඕනෑ. අලුත් ඇසකින් බලන්න ඕනෑ. අරගලයෙන් පසුව ඒ කාලය උදා වී තිබෙනවා.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඩයස්පෝරා සංවිධානවල තහනම ඉවත් කිරීම පිළිබඳව සිය විරෝධය පළ කර තිබෙනවා. ඒ ගැන මම ඉතාමත් කනගාටු වෙනවා. මම ඔහුට ආරාධනා කරනවා මා සමඟ  එක් වරක් උතුරු නැඟෙනහිර පළාත්වල සංචාරය කරන්න පැමිණෙන්න කියලා. අපි ගිහින් අහමු ඔවුන්ට වෙනම රටක් අවශ්‍යද කියලා?

ඔවුන් වෙනම රටක් ඉල්ලන්නේ නැහැ. ඔවුන් යුද්ධය, ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කැමැතියි එක රටක් තුළ ජීවත් වෙන්න. ඔවුන්ට අවශ්‍ය ගෞරවනීය ජීවිතයක් විතරයි. මම ගුණදාස අමරසේකර මහතාගෙන් ඉල්ලා සිටිනවා අතීතය අමතක කරන්න කියලා. යුද්ධය නිසා තමයි මේ රටේ දෙමළ ජනතාව මේ රටින් ගියේ. පිටවුණේ. එසේ පිටව ගිහින් විවිධ රටවල මේ වගේ සංවිධාන ඇතිකර ගත්තේ. ඒ නිසා මම ඔහුට කියන්නේ තමන්ගේ පරණ ස්ථාවරය වෙනස් කර ගන්නා ලෙසයි. අනෙක් පුද්ගලයා තමයි ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ්  මුසම්මිල්, ඔහු හැමදාම හැම දේටම විරුද්ධ වෙනවා. මේ කාගේ කටද? ඒ විමල් වීරවංශ මහතාගේ කට. මම ඔවුන්ට කියන්නේ ඔවුන් මේ රට ගෙනත් තියෙන තැන හොඳටෝම ඇති. දැන් රට ඉවර කරලා ඉවරයි. දැන්වත් ඔවුන් අතීතයෙන් පාඩම් ඉගෙනගත යුතුයි. ඔවුන්ට වෙනස් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.

මේ තහනම  ඉවත් කෙරුණු කිසිම ඩයස්පෝරා සංවිධානයක් වෙනම රටක් ඉල්ලන්නේ නැහැ. අපේ රට වෙනුවෙන් වගකීම භාර අරන් එම සංවිධාන සමඟ සාකච්ඡා කර වෙනසක් ඇති කරන්න මම සූදානම්. නමුත් මට හිස් අතින් යන්න බැහැ. එයට මට ලංකා ආණ්ඩුවෙන් සැලසුමක්. පොදු වැඩපිළිවෙළක් අවශ්‍යයි. ශ්‍රී ලාංකේය පදනමක් අවශ්‍යයි. එය ලබා දෙන්නේ නම් ඔවුන් හා සාකච්ඡා කරන්න මම සූදානම්. මට ඇමතිකම් එපා.

 ඩී. එල්. ජයකොඩි