යූටියුබ් ඇසුරෙන් හැදූ බෝම්බය පෙන්වා වයස්ගත යුවළගේ දේපළ කොල්ලකාලා

0
25

අන්තර්ජාලයේ යූ-ටියුබ් වීඩියෝ ඇසුරින් තැනූ බෝම්බයක් රැගෙන වයෝවෘද්ධ යුවළක් සිටින නිවෙසකට ඇතුළුව ඔවුන් බියගන්වා දේපළ සොරාගත් පුද්ගලයකු ගල්කිස්ස පොලිසිය විසින් ඊයේ (16දා) අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස, බොරුපන පදිංචි 27 හැවිරිදි තරුණයකු වන සැකකරු බොරුපන ප්‍රදේශයේම නිවෙසකට ඇතුළුව මෙම මංකොල්ලය සිදුකර ඇත. එම නිවෙසේ වෙසෙන 83 හැවිරිදි සැමියා සහ 80 හැවිරිදි ඔහුගේ බිරියත්, 70 හැවිරිදි සේවිකාවත් බෝම්බය සහ මන්නයක් පෙන්වා බියගන්වා මුදල් සහ රන් භාණ්ඩ සොරාගෙන පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

සැකකරු සමඟ පොරබැදීමට කළ උත්සාහයේදී සැකකරු විසින් එල්ල කළ මන්නා පහරකින් වයස්ගත පුද්ගලයාගේ අතකට තුවාල සිදුව තිබේ.

කාන්තාවන් දෙදෙනා නිවෙසේ කාමරයකට දමා ඔවුන් බියගන්වා සේවිකාවගේ කරාබු යුගලත්, ගෙහිමි කතගේ රන් මුදු දෙකකුත් සැකකරු විසින් පැහැරගෙන ඇති අතර ඊට අමතරව රුපියල් 50,000ක මුදලක්ද සොරාගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකරු එම නිවෙස අසලම පිහිටි ඔහුගේ සොහොයුරියගේ නිවෙසේ සැඟව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මංකොල්ලය සඳහා යොදාගත් ආයුධයත්, බෝම්බයත්, එදින හැඳ සිටි ඇ¾දුම්ද සමඟින් පොහොර උරයක බහා එම නිවෙසේ ඇඳක් යට සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සේවිකාවගෙන් පැහැරගත් කරාබු යුගලයද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එය ඉමිටේෂන් කරාබු යුගලක් බව පසුව තහවුරු වී ඇත.

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක දීලිප සී. පෙරේරාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නාලක අලහකෝන්, උප පොලිස් පරීක්ෂකවරුන් වන සමුදිත්, සංජීව, සැරයන්වරුන් වන අජිත් (47033), රත්නායක (61189), කොස්තාපල්වරුන් වන සිවන්ත (78800), උදයංග (51508), වීරතුංග (82423), සංජීව (88381), ප්‍රියංකර (29265), ඉසංක (71341) සහ සංජීව (25426) ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ඉංගිරිය _ එන්.පී. කහවල, ගල්කිස්ස- ජානක ගෝමස්