යල කන්නයේ අස්වැන්න මිලදී ගන්න වී අලෙවි මණ්ඩලයට කෝටි 2,00ක්

0
17

යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය පළමු අදියර යටතේ රුපියල් මිලියන දෙදහසක්  වෙන්කර ඇති අතර අද (17දා)  සිට වී මිලදී ගැනීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත.

ඒ අනුව වී අස්වනු මිලදී ගැනීම සඳහා පත්කළ අනුකමිටුවේ උපදෙස් මත එය සිදු කරන බවද සඳහන් කර තිබේ.

මේ වනවිට වෙළෙඳපොළේ වී කිලෝවක මිල රු. 90කටත් වඩා අඩු වී ඇති බවට ගොවි ජනතාව චෝදනා කිරීම හේතුවෙන්  එම කාරණය සැලකිල්ලට ගෙන ගොවීන්ගේ වී නිෂ්පාදනවලට උපරිම මිලක් ලබාදීම සඳහා වී අලෙවි මණ්ඩලය මැදිහත් වන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවැසීය.

පළමු අදියර යටතේ රුපියල් මිලියන දෙදහසක්  වැයකර වී මෙටි්‍රක් ටොන්  තිස්දහසක්  මිලදී ගැනීමට අපේක්ෂිත බවත් සහල් නිෂ්පාදකයන් විසින් ගොවීන්ගෙන් වී කුණුකොල්ලයට මිලදී ගැනීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවත් ඇමැතිවරයා  සඳහන් කළේය.

අවශ්‍ය වුවහොත් තවදුරටත් රජය මැදිහත් වී මිලදී ගැනීමට සූදානම් බවද ඔහු කීය.

මේ යටතේ නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිලදී ගැනීමට කටයුතු යොදා ඇත.

 එමෙන්ම වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නා වී සහල් ලෙස සකස් කර අවම මිලක් යටතේ අලෙවි කිරීමට කටයුතු යොදා තිබෙන බවද කෘෂිකර්ම ඇමැතිවරයා ඊයේ (16දා)  සඳහන් කළේය.

 ඒ අනුව වී අලෙවි මණ්ඩලය අලෙවි කරන සෑම සහල් කිලෝවක්ම රු. 5කින් අඩු කිරීමටත්, ඉදිරියේදී වෙළෙඳපොළ තත්ත්වය සලකා බලා තවදුරටත් සහල් මිල අඩු කිරීමට අවශ්‍ය  වුවහොත් ඒ සඳහාද පියවර ගන්නා බව ඇමැතිවරයා පැවැසීය.

නිර්මාණි ගුණරත්න