මහපොළොවට පය තැබීම

0
96

රාජ්‍ය වියදම් පාලනය කිරීම ආයතන ප්‍රධානීන් විසින් අනිවාර්යයෙන් කළ යුතු බවටත් පරිබාහිරව සිදු කරනු ලබන රාජ්‍ය වියදම්වලට ආයතන ප්‍රධානීන් පෞද්ගලිකවම වගකිවයුතු බවටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇති බව ජනාධිපති ලේකම් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ. මේ දැනුම්දීම සිදුකොට ඇත්තේ රාජ්‍ය වියදම් පාලනය කිරීම යන මැයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් යොමු කෙරුණු අංක 03/2022 දරන චක්‍රලේඛයට අනුවය.

ප්‍රතිපත්ති සකස් කිරීම දේශපාලනඥයාගේ කාර්යයයි. එම ප්‍රතිපත්තිය විස්තරාත්මකව ක්‍රියාවට නැඟීම පාරිපාලකයාගේ කාර්යභාරයයි. ඇමෙරිකානු ජනාධිපතිවරයකුව සිටි වුඩ්රෝ විල්සන් කළ සඳහන අනුව දේශපාලනඥයාගේ කාර්යභාරය මෙන්ම පරිපාලකයාගේ කාර්යභාරය වෙන් වෙන්ව හඳුනා ගත හැකිය. මෙකල රාජ්‍ය ආයතනවල බිඳ වැටීම මෙන්ම පොදුවේ රටේ ආර්ථිකය අර්බුදයට ලක්වීම සම්බන්ධවද ඍජු බලපෑමක් සේ පෙනෙන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පවත්නා ව්‍යාකූල තත්ත්වයයි. ප්‍රමාද වී හෝ මේ රටේ දේශපාලන අධිකාරය මේ සම්බන්ධව අවධානය යොමු කොට අදාළ විසඳුම් කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබීම යහපත්ය.

රාජ්‍ය පාලනයේදී විශිෂ්ට දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා උගත්, බුද්ධිමත් පිරිසක් සහභාගි නොවීමෙන් සිදුවන්නේ දුර්වල, නූගත්, දීනයන් විසින් ජනතාව පීඩනයට ලක් කරනු ලැබීමයි. මේ ප්ලේටෝගේ සංකල්පයකි. මේ රටේ රාජ්‍ය ආයතන පද්ධතියේ බිඳවැටීම සම්බන්ධව අවධානය යොමු කිරීමේදී විද්‍යාමාන වනුයේද ප්ලේටෝ ඉදිරිපත් කොට ඇති දුර්වලතාවයි. 400ක් තරම් වූ මේ රටේ රාජ්‍ය ආයතන අතරින් වැඩි සංඛ්‍යාවක් ගරා වැටෙමින් තිබීම අහඹු සිදුවීමක් නොව දිගු කලක සිට මේ ආයතන පාලනය සම්බන්ධව නිසි ප්‍රතිපත්ති සමුදායක් හෝ නිසි කළමනාකරණවේදයක් හෝ නොපැවතීම බව පැහැදිලිය.

ශ්‍රී  ලංකාවේ රාජ්‍ය සේවයේ නීති රෙගුලාසි ඇතුළත් ප්‍රධාන මෙවලම් දෙකකි. එකක් ආයතන රෙගුලාසි සංග්‍රහයයි. අනෙක මුදල් රෙගුලාසි සංග්‍රහයයි. 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් නිදහස් රාජ්‍ය සේවය අමාත්‍ය මණ්ඩලය යටතට පවරා ගැනීමෙන් පසුව රාජ්‍ය සේවා රෙගුලාසිවලට පමණක් නොව රාජ්‍ය ආයතන ක්‍රියාකාරීත්වයටද දේශපාලන බලය කාන්දු වන්නට පටන් ගත්තේය. එහෙත් 1972-5-21 දින දක්වා ක්‍රියාත්මක වූ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ රාජ්‍ය සේවය ක්‍රියාවට නැඟුණේ දේශපාලන බලයෙන් විනිර්මුක්තව ස්වාධීන රාමුවකය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වුවද රාජ්‍යත්වයේ පත් කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම්, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම යන කාර්යයන් සියල්ලම වාගේ අමාත්‍ය මණ්ඩලයේ බලාධිකාරයට යටත්ව පවතී. 78 ව්‍යවස්ථාවට ගෙන එන ලද 17 වැනි සංශෝධනය මඟින් එකී බලතල ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම වෙත පවරා ඇති නමුදු පසුව ගෙන එන ලද 18 වැනි සංශෝධනය මඟින් යළිත් එම කොමිසමෙහි බලතල කප්පාදුවක් සිදුවීම ඛේදජනකය. 19 සංශෝධනය මඟින් යළි එය බලගන්වා ඇති නමුදු 20 ව්‍යවස්ථා සංශෝධනය මඟින් විධායකය බල ගැන්වීමෙන් රාජ්‍ය ආයතන සම්බන්ධව තිබූ පැහැදිලි චිත්‍රය බොඳ වී ගියේය. මෙකී ප්‍රතිසංස්කරණවල අවසාන ප්‍රතිඵලය මේ රටේ රාජ්‍ය ආයතන පද්ධතිය තවදුරටත් ගරා වැටීමය.

වර්තමානයේ රාජ්‍ය වියදම් පාලනයට ආණ්ඩුව ඍජුවම අත ගසා ඇත්තේ ඇයි, මෙරට නියෝජිතයන් පිරිසක් වොෂින්ටනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හමු වී කළ සාකච්ඡා අනුව රජයේ වියදම් අඩු කිරීම, දේශීය ආදායම් හා වියදම්වල පරතරය අඩු කිරීම යන යෝජනා වහා ඉටු කිරීමට සිදුවීම එක් හේතුවකි. මෙරට රාජ්‍ය ආයතනවලින් වැඩි සංඛ්‍යාවක් නිලධාරීන් හා සේවකයන් නඩත්තු කරනු සඳහා මිස ඒවා රටේ සංවර්ධනයට උපයෝගි කරගත නොහැකි සේ බිඳවැටෙමින් තිබීම තවත් හේතුවකි. රට ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට නම් මෙකී අරමුණු වහා ඉටු කරගත යුතුව තිබේ.

මෙරට රාජ්‍ය ආයතන පද්ධතියේ මුල්පෙළේ බලධරයන් වෙත ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් යොමු කරන ලද චක්‍රලේඛය අනුව අත්‍යවශ්‍ය නොවන සියලු වියහියදම් පාලනය කිරීමෙන් රාජ්‍ය ආදායම වශයෙන් සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වෙතැයි ගණන් බලා ඇත. එසේ වුවද දේශීය අරමුදල් භාවිතයෙන් සිදු කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී වියදම් පාලනය සඳහා පියවර ගෙන තිබීම මත අමතර ගැටලු රැසක් පැනනැඟීම වළකාලනු නොහැකිය. ඇතැම් විටෙක ලාභ උපදවන සංවර්ධන ව්‍යාපෘතියක් නතර කිරීමෙන් අනපේක්ෂිත අර්බුද මතුවීමට ඉඩ ඇති බවද අමතක කළ යුතු නැත.

අර්බුදයෙන් මිදෙන්නට සකසුරුවම පමණක් නොසෑහෙයි. බිඳවැටුණු රාජ්‍ය ආයතන යළි නැඟිටුවා ප්‍රතිලාභ උපදවන තැනට ගෙන එන්නට කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ සඳහා නව ක්‍රමෝපායන් සකසාගත යුතුව තිබේ. ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස පැනනඟින්නේ ඒ අනුවය. අත්‍යවශ්‍ය වියහියදම් කපා හැරීමද ක්‍රමයේ වෙනසකි. එම වෙනස මේ රටේ දේශපාලන අධිකාරියෙන්ම පටන් ගත යුතුය. ආදර්ශය ඉහළ තැනින්ම ලැබේ නම් කදිමය. රට ගමන් කළ යුතු වන්නේ එතැනටය. අපේක්ෂිත සමෘද්ධිමත් දේශය සිහිනයක් නොවන තැනට සියල්ල පෙළගැස්විය යුතුය.