භූමිතෙල් දියව්! මීගමු තෙල්වත්තේ ධීවර සමිති උද්ඝෝෂණයක

0
28

මීගමුව – කුඩාපාඩුව හා වැල්ලවීදිය ඒකාබද්ධ ධීවර සංවිධානයද, ලංකා ධීවර සමිති සම්මේලනය නියෝජනය කරමින් ඒ නියෝජිතයන්ද එක්ව ධීවර ජනතාවට භූමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලා මීගමුව තෙල්වත්ත හන්දියේදී 16 වැනිදා පෙරවරුවේ  උද්ඝෝෂණයක් පවත්වන ලදී.

කතෝලික පියතුමන්ලා විසින් ධීවර ජනතාව ආසිරි ගැන්වීමෙන් පසු සාමකාමී ලෙස උද්ඝෝෂණය පවත්වන ලෙස එම ධීවර ජනතාවගෙන් ඉල්ලා  සිටියහ. සමස්ත ලංකා ධීවර සංගම් සම්මේලනයේ අරුණ රොෂාන්ත මහතා ඇතුළු කීපදෙනෙක් මෙහිදී අදහස් දැක්වූහ. තෙල්වත්ත මංසන්ධියේ මාර්ගය හරස් කොට පැවැති මෙම උද්ඝෝෂණයේදී වාහන ගමන් කිරීමට බාධා ඇති විය.

පොලිසිය විසින් උද්ඝෝෂණකරුවන්ට විරෝධය දැක්වීමට බාධා නොවන ලෙස වාහන හසුරුවන ලදී. උද්ඝෝෂණකරුවන් පැවසුවේ මේ සම්බන්ධව යහපත් පිළිතුරක් ලැබෙන තුරු විරෝධතාව පවත්වාගෙන යන බවය.

මීගමුව – නිමන්ති ප්‍රනාන්දු