බෙරෙන්ඩිනා ආයතනය කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපාර 31ක් ස්ථාපිත කරමින්  කෘෂි අංශය සවිබල ගන්වයි

0
40

සිය ගනුදෙනුකරුවන් අතර බෙරෙන්ඩිනා ලෙසින් ප්‍රකට සීමාසහිත බෙරෙන්ඩිනා මයික්‍රෝ ඉන්වෙස්ට්මන්ට්ස් කම්පැනි ලිමිටඩ් (BMIC), 2007 වසරේ සංවිධානය ආරම්භයේ සිටම ලාංකික ගොවි ජනතාවට විවිධ අයුරින් සහයෝගය ලබාදෙමින් සිටියි. 67,000ක් (හැට හත්දහසක්)  වන අප ගනුදෙනුකරුවන්ගෙන් 35%කට ආසන්න ප්‍රමාණයකට කෘෂිකාර්මික කටයුතු සඳහා ණය පහසුකම් BMIC ආයතනය තුළින් සපයාදී ඇත.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය කාබනික පොහොර භාවිතයට නැඹුරු වීමත් සමඟ රට තුළ නිෂ්පාදනය කරන උසස් තත්ත්වයේ කාබනික පොහොර සඳහා විශාල ඉල්ලුමක් පවතී. ග්‍රාමීය මට්ටමින් උසස් තත්ත්වයේ කොම්පෝස්ට් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ නව ව්‍යාපෘතියක් බෙරෙන්ඩිනා විසින් ඉදිරිපත් කරයි. මේ යටතේ නව කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපාර තිස් එකක් (31) ආරම්භ කෙරේ. ව්‍යවසායකයන් 31 දෙනකු සඳහා කැබලි කිරීමේ යන්ත්‍ර, කොම්පෝස්ට් බෑග් වැසුම් යන්ත්‍ර වැනි යන්ත්‍ර පරිත්‍යාගයක් ලෙස ලබාදී ඔවුන් කොම්පෝස්ට් ව්‍යාපාරිකයන් බවට පත් කිරීමට නියමිතය.

පළමු අදියරේදී කොම්පෝස්ට් නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය වන ග්ලිරිසිඩියා, වල්පැළැටි, කෙසෙල් කොළ, කෙසෙල් කඳ, සැල්වේනියා වැනි ශාක කොටස් කුඩා කොටස්වලට කැපීමට මෙම කැබලි කිරීමේ යන්ත්‍රය යොදා ගැනේ. මෙම යන්ත්‍රයකින් පැයකට අවම වශයෙන් අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් පමණ සැකසීමට හැකියාව ඇත. කැබලි කිරීමේ යන්ත්‍ර, බෑග් වැසුම් යන්ත්‍රවලට අමතරව, (BMIC) විසින් ව්‍යාපාර ආරම්භක අදියරේදී පොහොර ඇසිරීම සඳහා එක් එක් ව්‍යවසායකයා සඳහා පොලිප්‍රොපිලීන් බෑග්ද ලබාදීමට නියමිතය.

අම්පාර, අනුරාධපුරය, බදුල්ල, මඩකළපුව, මහනුවර, කෑගල්ල, කිලිනොච්චිය, මුලතිව්, නුවරඑළිය, ත්‍රිකුණාමලය සහ වවුනියාව ඇතුළු BMIC ක්‍රියාකාරී දිස්ත්‍රික්ක 11න් තෝරාගත් බෙරෙන්ඩිනා සේවාදායකයන්ට කොම්පෝස්ට් නිෂ්පාදනය පිළිබඳ පුළුල් පුහුණුවක් ලබාදෙනු ලැබේ. නිරන්තර තත්ත්ව පාලනය හා සහතික කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුමත ආයතන විසින් සිදුකරනු ලැබේ. නව කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යවසායන් මඟින් ප්‍රදේශයේ ගොවීන් සඳහා තරගකාරී මිලකට උසස් තත්ත්වයේ කොම්පෝස්ට් ලබාදීමට නියමිතය.