තීක්‍ෂණත් අප්‍රිකානු විස්සයි- 20 ලීගයට

0
8

දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිතව ඇති විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ජොහැන්ස්බර්ග් සුපර් කිංග්ස් පිල සමඟින් ශ්‍රී  ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ගිවිසුම්ගතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම කණ්ඩායම සෘජුවම ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් 5 දෙනා නිල වශයෙන් නිවේදනය කර තිබූ අතර, මහීෂ් තීක්ෂණ එලෙස සෘජු ගිවිසුම්ගතවූ ක්‍රීඩකයින් අතරට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. එහිදී ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 2කට ආසන්න මුදලක් එනම් ශ්‍රී  ලංකා රුපියල් හත්කෝටි විසිහය ලක්ෂයකට ආසන්න මුදලක් වෙනුවෙන් මහීෂ් තීක්ෂණ මෙලෙස ගිවිසුම්ගතව තිබීමද කැපී පෙනෙන සිදුවීමකි.

තීක්ෂණට අමතරව හිටපු දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිස් මෙම තරගාවලියේදී ජොහැන්ස්බර්ග් පිලේ නායකත්වය දැරීමට නියමිතව ඇති අතර, ඔහු ඇමෙරිකන් ඩොලර් තුන්ලක්ෂ හැත්තෑපන් දහසක මුදලක් සඳහා ගිවිසුම්ගතව ඇත. එමෙන්ම එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 4ක මුදලක් වෙනුවෙන් ජොහැන්ස්බර්ග් පිල සමඟින් ගිවිසුම්ගතව ඇති අතර, මෙහිදී ජොහැන්ස්බර්ග් පිලේ ප්‍රධාන පුහුණුකාරීත්වයද හිමිව ඇත්තේ චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමිංට වීමද විශේෂත්වයකි.

එළැඹෙන 2023 වසරේ ජනවාරි මාසයෙදී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු විස්සයි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළැඹෙන සැප්තැම්බර් මාසයේ 20 වැනිදාය.