තමන්ගේ බලය පමණක් කේන්ද්‍රකර ගත් දේශපාලන ව්‍යාපෘතිවලින් අර්බුදය විසඳෙන්නේ නෑ

0
37

මේ විධායක බලයත් දේශපාලන සංස්කෘතියත් වෙනුවෙන් අප කවුරු සාමූහිකව ආණ්ඩුවක් ගොඩනැඟුවත් එළියේ බලයක් නිර්මාණය වන බව ජාතික  ජන බලවේගයේ  නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර  දිසානායක  පවසයි.

මන්ත්‍රිවරයා  මේ බවද කීය.

අපේ රට මේ නිශ්චිත මොහොතේ තිබෙන්නේ ඉතාමත් දරුණු ආර්ථික, සමාජීය අර්බුදයක. බොහෝ අය මෙම අර්බුදය ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් ලෙස හුවාදක්වන්න උත්සාහ දරනවා. මෙම අර්බුදයට ආර්ථික ප්‍රතිපත්තියත් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉවහල් වී තිබෙන බව අප විශ්වාස කරනවා. මේ අර්බුදයේ පදනම වන්නේ අපේ රටේ පවතින දේශපාලන සංස්කෘතියයි. මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම් මේ දේශපාලන සංස්කෘතියෙන් මිදීම සඳහා වූ දැක්මක් හා සැලැස්මක් අපට තිබිය යුතුව තිබෙනවා.

එසේ නොමැතිව අපට කවර ආර්ථික සංවර්ධන යෝජනාවන් තිබුණත් ආර්ථික ප්‍රතිපත්තීන් තිබුණත් මේ අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකියි. මේ විනාශකාරී, නාස්තිකාරී, දූෂණ, තමන්ගේ බලය පමණක් කේන්ද්‍රකර ගත් දේශපාලන ව්‍යාපෘතියක් තබාගෙන කටයුතු කිරීම නිසා මේ අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකියි. එය තමයි මේ අර්බුදයෙන් ගොඩ ඒමේ ප්‍රධානම පදනම. ඒ වගේම පිටින් කවුරු හෝ පැමිණ මේ අර්බුදයෙන් අපව ගොඩදමා දෙයිද? සමහරුන් කල්පනා කරනවා විදේශීය මූල්‍ය සමාගම් විසින් අපව ගොඩදමා දෙයි කියා.

විදේශීය සංවිධාන විසින් හා විදේශීය රටවල් විසින් මේ අර්බුදයෙන් මුදා ගනීවි කියා. කඩා වැටුණු කිසිදු රටක් කිසිම සංවිධානයක් හෝ විදේශීය රාජ්‍යයක් විසින් ගොඩදමා දෙන්නේ නැහැ. අපි සමත් විය යුතුයි එම සංවිධානවල සහ එම විදේශීය රාජ්‍යයන්ගේ සහාය ලබාගැනීමට. හැබැයි මෙම ගොඩගැනීමේ ශක්‍යතාව තිබෙන්නේ මේ රට තුළින් ඇතිකර ගන්නා වෙනසකින් විතරක් පමණයි. වෙන කිසිවෙක් මෙම අර්බුදයෙන් අපව ගොඩදමා දේවි කියා විශ්වාස නොකළ යුතුයි. අපේ රටේ මානව සම්පත, අපේ රටේ සම්පත්, අපේ රටේ පිහිටීම, අපේ ශිෂ්ටාචාරය, ලෝක දේශපාලනය මේ සියල්ල ඉතා හොඳින් මැනවින් කළමනාකරණය කරමින් අපේ ශක්‍යතාව උඩට ගැනීමෙන් පමණයි මේ අර්බුදයෙන් ගොඩ ඒමට හැකිවන්නේ.

එසේ නොමැතිව හුදු වැකිවලින් මේ අර්බුදයෙන් ගොඩ එන්න බැහැ. ඒ වගේම ලෝක ඉතිහාසයේ සෑම තැනකම මෙවැනි කඩා වැටුණු අර්බුදයකදී ඒ කඩා වට්ටන්න දායකවූ අය විසින් කඩා වැට්ටූ රටක් ගොඩ අරගෙන නැහැ. මෙවැනි කඩා වැටුණු දේශපාලන ව්‍යාපාර, ආණ්ඩු පමණක් නොවෙයි පොදු ජනයාගේ සක්‍රිය මැදිහත් වීමක් අවශ්‍යයි. එය දරා ගැනීම, කාර්යක්ෂමභාවය, මැදිහත් වීම, මේ සියල්ල සහිත පොදු ජනයාගේ මැදිහත්වීමක් අවශ්‍යයි. ඒ පොදු ජනයාගේ මැදිහත් වීම උද්දීපනය කරන්නේ කෙසේද? කිසිසේත්ම කඩා වැටීමට වගකිව යුතු අය, මේ විනාශය ඇති කිරීමට මූලික වූ අය මුලසුනේ තබාගෙන පොදු ජනයාගේ  උද්දීපනයක් ඇති කරන්න බැහැ.

ලෝකයේ කඩා වැටුණු සෑම රටක්ම ඒ රටේ පොදු ජනයා උද්දීපනය කිරීමට නම් නව දේශපාලන මුහුණුවරක්, නායකත්වයක් රටකට අවශ්‍යයි. කඩා වැටුණු රටකට පොදු ජනයාගේ සක්‍රිය මැදිහත්වීම ලබා ගන්න නම් අනිවාර්යයෙන් ජනතාවගේ ජනවරමකින් ආණ්ඩුවක් හදා ගත යුතුයි. වර්තමාන තිබුණු රාජපක්ෂ ආණ්ඩුවට ජනවරම අහෝසි වී තිබෙන්නේ. ගෝඨාභය ජනාධිපතිවරයාට ලක්ෂ 69ක ඡන්ද ප්‍රමාණයක් ලබාගන්න හැකිවුණේ එතන සාධක දෙකක් තිබුණු නිසයි. එකක් ගෝඨාභය රාජපක්ෂ, ඔහු කෙරෙහි තිබුණු විශ්වාසය. අනෙක රනිල් වික්‍රමසිංහට තිබුණු විරෝධය. දැන් සිදුවී තිබෙන්නේ එම ජනවරමින් බලයට ආ ගෝඨාභය රාජපක්ෂ ඉවත් වී තිබෙනවා. තමන්ට ප්‍රතිපක්ෂව ජන වරම ලැබුණු රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා තිබෙනවා. එසේ නම් නව ජනවරමක් අපේ රටට අවශ්‍යයි.

පාර්ලිමේන්තු ඉතිහාසයේ 2020දී සමානුපාතික ක්‍රමය යටතේ වැඩිම මනාප ගත් මන්ත්‍රිවරුන්ගෙන් පාර්ලිමේන්තුව හැදුණා. ඒ පාර්ලිමේන්තුවේ සංයුතිය දෙස බැලුවහොත් පොදු පෙරමුණේ ඡන්ද ව්‍යාපාරය දෙස බැලුවහොත් එය මුළුමනින්ම සිංහල, බෞද්ධ ඡන්ද මත පදනම් වූ ඡන්ද ව්‍යාපාරයක්. කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු අපේක්ෂකයෙක්  දෙමළ හෝ මුස්ලිම් නොවෙයි. එම ජනවරම ඇතුළේ 70%කට එහා ගියපු සිංහල පදනමක් එම ජනවරමට තිබුණා.  ඒ පදනම නියෝජනය කළේ මහින්ද රාජපක්ෂ.  ජනවරම ඇතුළේ තිබුණේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම සඳහා වූ ඉල්ලීම. දැන් ඔහු අගමැති ධුරයේ නැහැ. එහෙම නම් එම ජනවරම අහෝසියි. ඒ ජනවරමටත් අවංක නැහැ.

අපි දන්නවා පසුගිය රටේ තිබුණු ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් ඇති වූ කැලඹිලි තත්ත්වය තුළ ජනවරමකට යා යුතු වීම අපහසුයි. එය අපි පිළිගන්නවා. ඒ නිසා අපි යෝජනා කළේ රට යථාවත් කිරීම සඳහා යම් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනඟා ගැනීම. අපි එය මුළුමනින්ම පිළිගත්තා පමණක් නොවෙයි සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කළා. සර්වපාක්ෂික ආණ්ඩුවක ප්‍රධාන කරුණු දෙකක් ගැබ්වී තිබෙනවා. එහි පළමුවැනි  එක තමයි එම සර්වපාක්ෂික ආණ්ඩුවට දායක වෙන සෑම පක්ෂයකටම සාධාරණ අයිතියකින් නියෝජනය විය යුතුයි.

මොකද තමන් කොටස්කරුවකු වෙනවා නම් එම සියලු තීන්දු තීරණවල තමන්ට වගකිව හැකි යාන්ත්‍රණයක් සර්වපාක්ෂික ආණ්ඩුවකට තිබිය යුතුයි. දෙවැන්න නියත වශයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් අන්තර්කාලීන විය යුතුයි. එය කෙටි කාලයක් විය යුතුයි. මේ පාර්ලිමේන්තුවේ අප කාටවත් එකතු වෙලා ආණ්ඩුවක් කරන්න ජනවරමක් දීලා නැහැ. මේ ජනවරමේ තිබෙන්නේ එකිනෙකාට විරුද්ධව ලැබුණු ජනවරමක්. එකිනෙකාට ප්‍රතිපක්ෂව ලැබුණු ජනවරමක්. කිසිසේත්ම එකිනෙකා සාමූහිකව රටක් පාලනය කිරීමට ජනවරමක් නැහැ. ඒ නිසා එම ආණ්ඩුව අන්තර්කාලීන විය යුතුයි. අපේ යෝජනාව ගැබ්වී තිබුණේ එතැන.

කොහොමද සර්වපාක්ෂික ආණ්ඩුවට සහභාගි වන සැම කෙනෙක්ම සාධාරණ සම කොටස්කරුවන් බවට පත්වන්නේ? එහෙම කියන්නේ ජනාධිපතිවරයා අනාගත බල ව්‍යාපෘතියක නොයෙදෙන කෙනෙක් විය යුතුයි. මේ රටේ ව්‍යවස්ථාව අනුවත් අපේ රටේ දේශපාලන සංස්කෘතිය අනුවත්. පසුගිය කාලයේ කැබිනට් මණ්ඩල කියන්නේ හුදු ආයතන පමණයි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කැබිනට් මණ්ඩලයට එරෙහි ආණ්ඩුවක් හැදුණා. ඒ තමයි චන්ද්‍රිකා, බාලපටබැඳි, මනෝතිත්තවැල්ල, තාරා ද මෙල්. ඒ මොකක්ද? කැබිනට් මණ්ඩලයෙන් විධායක බලය ගලවලා එළියට ගෙනඑනවා. මේ විධායක බලය සහ මේ දේශපාලන සංස්කෘතිය. ඊළඟට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව. මේ ආණ්ඩුවේ ඉන්නේ කැබිනට් ඇමැතිවරු, ඇමැතිවරු නොවෙයි. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මහත්වරු සහ ලලිත් වීරතුංග. ආණ්ඩුව කැබිනට් මණ්ඩලයෙන් එළියට ගෙන ආවා. මේ තමයි විධායක බලය. මේක තමයි දේශපාලන සංස්කෘතිය.

2015-2019 රනිල් වික්‍රමසිංහගේ එදා ආණ්ඩුව කවුද? රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, චරිත රත්වත්තේ, පාස්කරලිංගම්. මේ ගොල්ලෝ තමයි ආණ්ඩුව. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සිදුවුණේ මොකක්ද? එයාට කැබිනට් මණ්ඩලය තුළවත් එළියෙවත් ආණ්ඩුවක් හදාගන්න බැරිවුණා. කැබිනට් මණ්ඩලය තුළ ආණ්ඩුවක් එතුමාට තිබුණා නම් ගොවි ජනතාවගේ ප්‍රශ්නයට ඇහුම්කන් දෙන්න ඕනිනේ. එහෙම වුණේ නැහැ. ඒ නිසා මේ විධායක බලයත් දේශපාලන සංස්කෘතියත් වෙනුවෙන් අප කවර කෙනෙක් සාමූහිකව ආණ්ඩුවක් ගොඩනැඟුවත් එළියේ බලයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මේ විධායක බලය නියෝජනය කරන සර්වපාක්ෂික ආණ්ඩුවකදී විධායක බලය අනාගත දේශපාලන බල ව්‍යාපෘතියක නොයෙදෙන එකක් විය යුතුයි කියන එක අපේ ස්ථාවරයයි.

අනුරාධා  හේරත්