ජල පෝෂක ප්‍රදේශවලට වැසි

0
16

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නායයෑමට ලක්වූ මස්කෙළිය, ශ්‍රී  පාද නල්ලතන්නිය මාර්ගය තවදුරටත් නාය යෑමට සක්‍රිය වී ඇති නිසා එම මාර්ගය තවදුරටත් වසා දැමීමට ඊයේ (16දා) පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් මහතා පැවැසීය.

එම මාර්ගයේ නල්ලතන්නිය මොහිණි ඇල්ලට  සහ මවුස්සාකැලේ ජලාශයට ශ්‍රී  පාද රක්ෂිතයේ සිට ජලය ගලා බසිනා සීත ගඟුලට ඉහළින් අක්කර භාගයක පමණ භූමි ප්‍රමාණයක් මේ වන විට නායගොස් ප්‍රධාන මාර්ගයේ කොටසක්ද සීත ගඟුල දෙසට ගිලා බැස ඇත.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥයන් පිරිසක්  ඊයේ (16දා) නායයෑමට ලක් වූ ස්ථානය පරීක්ෂා කළ අතර, එම විද්‍යාඥයන් පිරිස ලබාදුන් නිර්දේශ මත එම මාර්ගය තවදුරටත් වසා දැමීමට පියවර ගත් බවයි සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

පවත්නා තත්ත්වය මත කිසිදු මගියකුට පයින් ගමන් කිරීමට පවා අවදානම් බවත්, පවතින අවදානම හේතුවෙන් එම ස්ථානයේ දිවා රාත්‍රි දෙකේ නල්ලතන්නිය පොලිසියේ නිලධාරීන් රාජකාරියේ යොදවා ඇති බවද සහකාර අධ්‍යක්ෂවරයා පැවැසීය.

2022-2023 ශ්‍රී  පාද වන්දනා වාරය මේ වසරේ උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරීමට නියමිත අතර, වන්දනා වාරය ආරම්භ කිරීමට ප්‍රථම පතල් සහ භූ විද්‍යා කාර්යාංශයේ භූ විද්‍යාඥයන්ගේ නිර්දේශ මත එම මාර්ගයේ නායගිය ස්ථානය මඟහැර වෙනත් ස්ථානයකින් මාර්ගය අලුතින් කැපීමට පියවර ගන්නා බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ විධායක ඉන්ජිනේරු රංග දේවප්‍රිය මහතා පවසයි.

නොර්වුඩ් – නීටා පත්ම කුමාරි