ජනපති පත්වෙලා මසක් ගත වුණත් සර්වපාක්ෂික ආණ්ඩුව කතා පෙට්ටියකට සීමා වෙලා

0
27

සර්වපාක්ෂික ආණ්ඩු සංකල්පය කතා පෙට්ටියකට පමණක් සීමා වී ඇති බවත් සර්වපාක්ෂික පාලනයක් බිහි කිරීමේ කිසිම වැඩපිළිවෙළක් වත්මන් පාලකයන්ට නොමැති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි  මුජිබර් රහුමාන් පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙසේ කීය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

නව ජනාධිපතිවරයා පහුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා තහනම් කර තිබූ සංවිධාන කිහිපයක තහනම ඉවත් කළා. ඒ ගැන අපිට ගැටලුවක් නැහැ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ සියලු දේවල් රිවස් කරමින් යනවා. අපි දැක්කා එතුමාගේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් කළ කතාවේ ගොඩක් ‍ෙදා්ෂාරෝපණයට ලක් වෙලා තිබුණ පොදුජන පෙරමුණ වැඩපිළිවෙළ හා ඡන්ද කාලේ කියපු කතා, පහුගිය කාලයේ  ජාතික ආරක්ෂාව පිළිබඳ යම් යම් තීන්දු හා සංවිධාන පුද්ගලයන් තහනම් කිරීම සම්බන්ධව නව ජනාධිපතිවරයා යටතේ අලුත් ගැසට් නිවේදනයක් හරහා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විසින් තහනම් කර තිබූ කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්වරයා හැටියට තහනම් කර තිබූ ඒ සංවිධාන කිහිපයක තහනම් ඉවත් කරලා තිබුණා. ඒ වගේම තමයි පහුගිය කාලේ කටාර් රාජ්‍යයට අයත් qatar charity සංවිධානය තහනම් කරලා තිබුණා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුණාට පස්සේ කටාර් තානාපතිව කැඳවලා එහි තිබුණු තහනමත් ඉවත් කරනවා. මොකද කටාර්  රජය යටතේ තෙල් ලබා ගැනීම සඳහා ඒගොල්ලො එක්ක යම් යම් වෙළෙඳ ගනුදෙනුවලට යන්න අවස්ථාව උදාකර ගන්න පොරොන්දුවක් ලබාදීලා තිබුණා. මට මතකයි කාංචන විජේසේකර ඇමැතිතුමා කටාර් ගියාට පස්සේ එහි සිටින රාජ්‍ය නායකයන්ට පවා පොරොන්දුවක් ලබා දීලා තිබුණා qatar charity තහනම ඉවත් කරනවා කියලා. ඊයේ පෙරේදා ඒ ඉවත් කළ තහනම හා ගැසට් නිවේදනය තුළ කටාර් ආයතනය තවමත් තහනමට ලක් වෙලා තියෙනවා.

මෙහිදී අපට පේන්න තියෙන දේ තමයි. මැදපෙරදිග තෙල් ගන්න ඕනේ රටවල් උදවු උපකාර ගන්න, ගනුදෙනු කරන්න ඕන කියලා මුල ඉඳන්ම කල්පනා කරන නව ජනාධිපතිවරයා යටතේ තවම ඒක ප්‍රමාද වෙන්නේ කාගේ වුවමනාවටද කියන එක ප්‍රශ්නයක්. qatar charity ආයතනය ඒ තහනම ඉවත් කරන්නේ නැත්තේ මොකද. අපිට පේන දෙයක් තමයි ඒක තාම අසත්‍ය චෝදනා මත තහනම් කරපු සංවිධානයක් බවට පත්වුණා. විශේෂයෙන්ම පහුගිය කාලයේ අපේ රටේ යටිතල පහසුකම් නඟාසිටුවීම සඳහා මසකට ඩොලර් මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් ඔවුන් විසින් වියදම් කරලා තිබුණා. අපේ රටේ ඉන්න දුවා දරුවන්ගේ යටිතල පහසුකම් දියුණු කිරීමට එවැනි සංවිධානයක් කිසිදු ආකාරයක චෝදනාවක් නොමැතිව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යම් යම් අයගේ වුවමනාව මත තමයි ඒ තහනම දැම්මේ.

ඒ තුළ අපට කටාර් රාජ්‍යයත් එක්ක තිබුණු සම්බන්ධකම්, මිත්‍රත්වය විශාල ලෙස පළුදු වුණා. මොකද කටාර් රාජ්‍යයේ එමීර්වරයා යටතේ තියෙන qatar charity fund එක අපි දැක්කා. පහුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති විදිහට පත් වුණාට පස්සේ තානාපතිතුමාට පොරොන්දුවක් ලබාදීලා තිබුණා. කාංචන විජේසේකර ඇමැතිවරයා කටාර් ගිය ගමනේදී ඒ ඉන්න රාජ්‍ය නායකයාටත් පොරොන්දුවක් ලබාදීලා තිබුණා මම මේක අයින් කරලා නැවත කටාර් රාජ්‍ය එක්ක වෙළෙඳ ගනුදෙනු පටන් ගන්න පුළුවන් වාතාවරණයක් ගොඩනඟනවා කියලා. කෙසේ නමුත් අපට පේන දේ තමයි එන්න එන්නම ප්‍රමාද වෙලා වැඩ යන්නේ.

අපි ජාතික ආණ්ඩුව, සර්වපාක්ෂික ආණ්ඩුව ගැන කතා කළත් ජනාධිපතිතුමා පත්වෙලා මාසයකට ආසන්න කාලයක් වෙනවා. එතුමා අගමැතිවරයා විදිහට පත් වෙලා අද වෙනකොට මාස තුනකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් සියලු පක්ෂවල එකඟත්වයන් උඩ ආණ්ඩුවක් හැදීම කතා පෙට්ටියකට සීමා වෙච්ච දෙයක්. කිසිම ආකාරයේ පියවරක් නැහැ. වැඩපිළිවෙළක් නැහැ. ඒ වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීම හා එයට මුලපුරන්න ඕනෑ. පවතින ආණ්ඩුව ඒ ආණ්ඩුව යෝජනා ඉදිරිපත් කරලා නිශ්චිත කාල සීමාවක්, නිශ්චිත වැඩසටහනක් උඩ ඉදිරි මැතිවරණයේදී දින වකවානු තීන්දු කරගෙන යන්න පුළුවන් වැඩපිළිවෙළට තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනඟන්න පුළුවන් වෙන්නේ.

එහෙම නැතිව නිශ්චිත කාලසීමාවක් නැතිව වැඩපිළිවෙළක් නැතිව දින වකවානුවක් නැතිව අයාලේ යන්න සර්වපාක්ෂික ආණ්ඩුවක් වැඩක් නෑ. එහෙම ආණ්ඩුවකට පාර්ලිමේන්තුවේ ඉන්න කිසිදු කෙනෙක් සහයෝගය දෙන්නේ නැහැ. අපිට පේන දෙයක් තමයි ආණ්ඩුව පැත්තෙන් කිසිදු ආකාරයේ වැඩපිළිවෙළක් ඉදිරිපත් වෙන්නේ නෑ. සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ මොකටද? මොකක් වෙනුවෙන්ද අවශ්‍ය වෙන්නේ. මේ රටේ තිබෙන හ¾දුනාගත් ප්‍රධාන ප්‍රශ්න ටික මොනවද දින වකවානු මොනවද, ඒ ආණ්ඩුව අවසාන වෙන්නේ කවදද, අවසන් වුණාට පස්සේ අපි මහ මැතිවරණයකට යනවද නැද්ද කියන ප්‍රධාන කරුණු කාරණාවන් රජය පැත්තෙන් තවම යෝජනා හැටියට ඉදිරිපත් වෙන්නේ නෑ.

ආණ්ඩුව පැත්තෙන් යෝජනා වෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න අවශ්‍ය  ඇමැතිකම් ටික මොනවද, ඇමැතිකම් කීයක් ඕනෙද තමයි යෝජනා වෙන්නේ. මෙතැන ඇමැතිකම් භාර ගැනීමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නෙ. වැඩපිළිවෙළේ ප්‍රශ්නයක්. ඇමැතිකම් භාරගත්තා කියලා කාටවත් මේ තියෙන තත්ත්වය උඩ මැජික් පෙන්නන්න බැහැ. එහෙම නම් මහ පොළොවේ ගමන් කරන්න පුළුවන් යථාර්ථවාදී වැඩපිළිවෙළක්, ජාත්‍යන්තරය දිනා ගන්න පුළුවන් මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි මූලික මූල්‍ය සංවිධානත් එක්ක යන වැඩපිළිවෙළකට යන්න පුළුවන් වැඩසටහනකට තමයි අපට සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන සංවාදයක් ඇති කරගන්න පුළුවන්. අපිට පේන තෙක් මානයක එවැනි සංවාදයක් ඇති කරන වටපිටාවක් ආණ්ඩුව විසින් නිර්මාණය කරලා නැහැ කියන එක පේන්න තියෙනවා.

ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන 22 සංශෝධනය අද වෙනකොට මැතිසබය විසිරවීමට ගත් තීරණයේ 22ට කඹ ඇදිල්ලක් කියලා වාර්තා වෙනවා. වසර දෙකහමාර, හතරහමාරට වෙනසක් කරන්නැයි ඉල්ලීමක්. ඒ කියන්නේ අවුරුදු දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් කියන වගන්තිය වෙනස් කරලා ඒක අවුරුදු හතරහමාරක් කරන්න කියලා පොහොට්ටුවේ මන්ත්‍රිවරු කියලා. ඒ බව ලංකාදීප ප්‍රධාන ශීර්ෂපාඨය හැටියට තියෙනවා. මෙහිදී අපට පේන්න තියෙන දේ තමයි බැසිල් රාජපක්ෂ මහතා තවම පොදුජන පෙරමුණ ආණ්ඩුවේ පිටිපස්සෙ ඉඳගෙන හැසිරවීම් සිද්ධ කරනවා. අපි දැක්කා පහුගිය කාලේ පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් තියෙනකොට ටික දවසක් බැසිල් රාජපක්ෂ මහත්තයාගේ පින්තූරය අතුරුදන් වෙලා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේත් අතුරුදන් වෙලා. ඊට පස්සේ  මහින්ද රාජපක්ෂ මහත්තයගේ හා බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඡායාරූප පහුගිය ටිකේ ඒකෙ තිබුණේ නැහැ. දැන් නැවතත් ඒ පින්තූරය එළියට ඇවිත් තියෙනවා. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයත් මේ ආණ්ඩුව ඇතුළේ නිල වශයෙන් හිටියේ නැති වුණාට විශාල කාර්යභාරයක් කරනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා දැන් මේ ඉදිරිපත් කරලා තියෙන 22 සංශෝධනය ඇතුළත් පාර්ලිමේන්තුව අවුරුදු දෙකහමාරෙන් විසුරුවන්න පුළුවන් කියන දේ අවුරුදු හතරහමාරකට යන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ වුවමනාව මත කියන එක පැහැදිලියි.

අපේ රට පහුගිය කාලයේ ලෝකෙ බලවතුන්ගේ ග්‍රහණයට ලක් වෙච්ච රටක් බවට පත්වෙලා. 2005දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වුණාට පස්සේ ඒ අවුරුදු 10 තුළ  ආණ්ඩුව ක්‍රියා කරපු විදේශ ප්‍රතිපත්ති උඩ චීනය විශාල වශයෙන් අපේ රට ආයෝජනවලට හා ණය දීමට ඇතුළත් වීමත් එක්කම චීනය අපේ රටේ විශාල ලෙස ඔවුන්ගේ අත පෙවීමක් මේ වෙනකොට ලක් වෙලා. එය කොයිතරම් ද කියලා කිව්වොත් පහුගිය දවස්වල ලංකාවට එන්න තිබූ තොරතුරු රැස්කර ගැනීමේ නැව ලංකාවට එන්න හදනකොට ඉන්දියාව හා බටහිර රටවල විරෝධය හා මේ ලංකාව අපේ රාජ්‍ය එපා කිව්වත් චීනය කිව්වා එහෙම අවලංගු කරන්න බැහැ කිව්වා. ඒ නැව මේ වෙනකොට හම්බන්තොට වරායට ඇවිත් තියෙනවා. අනිත් පැත්තෙන් මේ රටේ කලාපයේ බලවතා හැටියට ඉන්දියාව කලබල වීමක් සිදුවෙලා තියෙන බව පේනවා. මේ තුළ පේන්න තියෙන දේ තමයි අපේ රටේ පිහිටීම අනුව පහුගිය කාලය පුරාම ඒක දැක්කා. එක පැත්තකින් ඇමරිකාව හා ඉන්දියාව අනෙක්් පැත්තෙන් චීනය ප්‍රමුඛ කරගත්ත අනෙකුත් ඔවුන්ගේ සහයෝගී රටවල්. ඒ දෙකේ කඹ ඇදිල්ලට හා ඔවුන්ගේ බල පොරයට අපි මැදිහත් වෙලා තියෙනවා.

කෝප් කමිටුව, කෝපා කමිටුව, මුදල් කාරක සභාව වැනි ඒවායේ සභාපතිකම දුන්නම ඒ හරහා මේ රටේ තිබෙන ප්‍රශ්නය විසඳගන්න පුළුවන් ආකාරයට අපි සහයෝගයක් ලබා දෙනවා. ඊට එහා ඇමැතිකම් අවශ්‍ය නැහැ. ඇමැතිකම් ඕන වෙන්නෙ මොකටද කියලා අපි දන්නවා. දෙමළ පක්ෂ තහනම ඉවත් කිරීම ගැන අහන්න වෙන්නේ ජාති ආලේ ගැන කතා කරපු මහින්ද රාජපක්ෂලා ඇතුළු රාජපක්ෂලාගෙන්. මොකද ඒගොල්ලෝ තමයි ඔය ඔක්කොම ඡන්ද කාලේ දේශපාලන සටන් පාඨ බවට පත්කර ගත්තේ. ඒ උඩ තමයි කිසිදු සොයා බැලීමක් නැතිව තහනම් කළේ. දැන් ඒ ජනාධිපතිතුමා අයින් කරලා තියෙනවා. දැන් ඒගොල්ලන්ගෙන් තමයි අහන්න ඕන මොකද කියන්නෙ කියලා. තහනම් කරනකොට හිටපු ආරක්ෂක ලේකම් තමයි තහනම ඉවත් කරන්නේ. මේවා ඇත්තටම ජාත්‍යන්තරය ඉදිරියේ මේ රට රාජපක්ෂලා බලය අරගෙන සම්පූර්ණම හෑල්ලුවට ලක් කරල තියෙන්නෙ. කීර්තිනාමය විනාශ කරලා. මේවා ජාත්‍යන්තරය අපේ දිහා බලලා හිනා වෙනවා.

නිර්මාණි ගුණරත්න