චීන නැව ආපු හැටි බන්දුල කියයි

0
19

ස්වෛරීත්ව සමානාත්මතා ප්‍රතිපත්තිය හා මූලධර්මය යටතේ චීන යුද නෞකාවට මෙරටට පැමිණීම සඳහා අනුමැතිය ලබා දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

තෙවැනි පාර්ශ්වයකට කිසියම් අවහිරයක්, ගැටලුවක් ඇති නොවන පරිදි එවන් නෞකා සඳහා අනුමැතිය ලබා දීම ස්වෛරීත්ව සමානතා ප්‍රතිපත්තිය හා මූලධර්මය අනුව සිදු කරන්නක් නිසා ඒ අනුව චීන නෞකාවට පැමිණීමට අවසරය ලබා දුන් බවද ඔහු අවධාරණය කළේය.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා ඊයේ (16දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.

මින් පෙරද මෙරටට ඇමරිකානු, එක්සත් රාජධානි, පාකිස්තාන්, ඉන්දීය හා වෙනත් රටවල යුද නෞකා පැමිණ ඇති බවත් ඇමැතිවරයා සිහිපත් කළේය.

එවන් නෞකා සඳහාද මෙරටට පැමිණීම සඳහා  තෙවැනි පාර්ශ්වයකට කිසියම් අවහිරයක් ගැටලුවක් ඇති නොවන පරිදි අනුමැතිය ලබා දුන් බවද හෙතෙම කීය.

විදේශ අමාත්‍යාංශය හා රජය එක්ව අනෙක් රාජ්‍යයන් අතර පවතින මිත්‍ර සම්බන්ධතා පලුදු වීමට ඇති ඉඩප්‍රස්තා හැකිතාක් අවම කර ගනිමින් කටයුතු කරන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

චීන නෞකාව ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය අලි සබි්‍ර කැබිනට් මණ්ඩලයට කරුණු පැහැදිලි කළ බවත් හෙතෙම කීය.

ඒ හා සම්බන්ධිතව අසල්වැසි ඉන්දියාව යම් යම් ප්‍රශ්න මතු කිරීම් සිදු කළ බවත් ඒ සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ජා හමාර වනතෙක් චීන නෞකාවේ පැමිණීම පමා කරන ලෙස ඉල්ලීම් කළ බවද ඔහු පැවැසීය.

ඒ අතරතුර චීනය, ඉන්දියාව හා ලංකාව අතර පැවැති සාකච්ජාවලදී කිසිදු තෙවැනි පාර්ශ්වයකට අගතියක් නොවන පරිදි ඒ අවශ්‍ය පහසුකම් සපයා ගැනීමට එකඟතාව පළ වූ නිසා ඒ අවසරය ලබා දුන් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

සවනි ශේශාධි