චීනය කවදාවත් NGO ගේම් ගැහුවේ නෑ

0
274

ඉන්දියානු සාගර කලාපය සාමයේ සාගර කලාපයක් විය යුතුයි යන දැඩි ස්ථාවරයක තමා සිටි නිසා මුල සිටම චීන සන්නිවේදන නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට අවස්ථාව සලසා දිය යුතු බව ප්‍රකාශ කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පැවැසීය.

මෙරට තුළ රටට හතුරු රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවා, රට අස්ථාවර කිරීමට චීනය කිසිවිටෙකත් කටයුතු නොකළ අප රටට මිත්‍ර පාර්ශ්වීය රටක් බවද විමල් වීරවංශ මහතා කීය.

ඊයේ (16දා) හම්බන්තොට වරායට සේන්දු වූ චීනයේ යුආන් වැංග් 5 සන්නිවේදන තාක්ෂණ නෞකාව පිළිගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සව සභාව අමතමින් ඒ මහතා මෙසේ කීවේය. එහිදී අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවැසීය.

“අතීතයේ අප මේ පය ගසා සිටින පොළොව සිංහලේ, සිලෝන් ආදී නම්වලින් හඳුන්වා තිබුණත් අද එය හඳුන්වන්නේ ශ්‍රී  ලංකාව යනුවෙනුයි. මේ පොළොව ශ්‍රී  ලංකාව වූවාට ඒ හා බැඳුණු අහස සහ මහ මුහුද තමයි අප ලෝකයත් සමඟ සම්බන්ධ කරන්නේ. අපට අයිති මේ පොළොවේ ස්වෛරීභාවයේ සීමාව ඇතුළේ මේ අහසේ හා මහ මුහුදේ අපට අයිති ප්‍රමාණයන් තිබෙනවා. රාජ්‍යයක් ලෙස අපි ඒ ප්‍රමාණය පිළිබඳ වගකීම දරනවා.

විශේෂයෙන් ඉන්දියානු සාගර කලාපය සාමයේ සාගර කලාපයක් විය යුතුයි යන දැඩි ස්ථාවරයක අපි ඉන්නවා.  එය ගැටුමේ සාගර කලාපයක් හෝ සතුරු කඳවුරුවල සාගර කලාපයක් නොවිය යුතුයි. අප ආර්ථික වශයෙන් බලවත්ව සිටියත් දුර්වලව සිටියත් අප එම ප්‍රතිපත්තියේ දැඩි සේ එල්බගත යුතුයි. ඒ නිසා තමයි ඇතැමුන් පවසන මේ ඔත්තු බලන නැවට අප පවසන තාක්ෂණික සන්නිවේදන නැවට අනුමැතිය දුන් පරිදිම ශ්‍රී  ලංකාවේ හම්බන්තොට වරායට පැමිණීමට අවකාශ සැලසිය යුතුයි යන මතයේ අපේ පක්ෂවල නායකයන් සිටියේ.

අප විශ්වාස කරනවා චීනය අපේ ඓතිහාසික මිතුරෙක් පමණක් නොවෙයි දුෂ්කරතාවලට ඇදවැටුණු හැම මොහොතකම අපට උදවු කළ මිතුරෙක් කියා. චීනය කිසිදිනක අපේ රාජ්‍ය ව්‍යුහය කවරාකාරයෙන් සකස් කළ යුතුද යන්න පිළිබඳව අපට බලපෑම් සිදුකොට නැහැ.  අපි කුමනාකාරයේ පාලන ආකෘතියක් යොදා ගත යුතුද යන්න පිළිබඳව අපට බලපෑම් සිදුකර නැහැ. චීනය ශ්‍රී  ලංකාව තුළ රාජ්‍ය නොවන සංවිධාන හදලා ඒවාට මුදල් වියදම් කරලා රාජ්‍ය අස්ථාවර කරන්න බිඳවට්ටන්න කවර ආකාරයකින්වත් කටයුතු කර නැහැ. ඒ නිසා අප ආර්ථිකමය වශයෙන් දුෂ්කරතාවකට මුහුණ දී ඇති මේ අවස්ථාවේදීත් අපට සහෝදරත්වයේ දෑත් දිගු කළ හැකි රටවල් කිහිපය අතරින් එක රටක් තමයි චීනය. මේ වෙලාවේ චීනය අපට ණයවලින් උදවු කරනවාට වඩා ආයෝජනවලින් උදවු කරාවි කියන විශ්වාසය අපට තිබෙනවා.

චීනය වගේම ශ්‍රී  ලංකාවත් ඉදිරියට යනකොට තමයි ලෝකය තුළ බලවත් සමඟියක් නිර්මාණය කිරීමට අවශ්‍ය සමඟිය මේ සාගර කලාපය තුළ ඇති වන්නේ. ශ්‍රී  ලංකා රාජ්‍යය බිඳවැටුණොත් මේ ඉන්දියානු සාගර කලාපයේ සාමය බිඳ වැටෙනවා. ඒ වගේම අස්ථාවරත්වය ඉතා තදින් නිර්මාණය වෙනවා. අප විශ්වාස කරනවා එසේ නොවී ශ්‍රී  ලංකා රාජ්‍යය ආරක්ෂා කරගනිමින් අපි සියලුදෙනාටම ඉදිරියට යන්න පුළුවන් වේවි. 

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය