ගෝඨාභය ජීවත්වෙන්නේ හිටපු ජනාධිපති වරප්‍රසාද යටතේ

0
263

ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයකුට හිමි වරප්‍රසාද යටතේ ජීවත් වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය. මෙරට ජනාධිපතිවරණ පනතට අනුව රටේ හිටපු ජනාධිපතිවරයාටත් ධුරයේ සිටින ජනාධිපතිවරයාටත් හිමි වරදාන වරප්‍රසාද පිළිබඳ නීතිමය විධි විධාන පවතින්නේ යැයිද හෙතෙම අවධාරණය කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට තායිලන්තයේ බැංකොක් අගනුවර බලා පිටත්ව යෑමට යොදා ගත් පෞද්ගලික ගුවන් යානයට මුදල් ගෙවා ඇත්තේ ලංකාවේ රජයෙන් යැයි පැවැසෙන නිසා තවමත් හිටපු ජනාධිපතිවරයා ජීවත් වන්නේ එම වරප්‍රසාද යටතේද යන්න මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

හිටපු ජනාධිපතිවරයෙක් අභාවප්‍රාප්ත වීමෙන් පසු ආර්යාවටත් එවැනි ආරක්ෂාවක් සැලැසීම පිළිබඳව තම දැනීමට අනුව වගකීමක් පවතින බවද හෙතෙම කීය. එමෙන්ම තම සාමාන්‍ය දැනීමට අනුව දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසගේ ආර්යාව ලෙස හේමා ප්‍රේමදාසට එම අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබාදී ඇතැයිද ඔහු තවදුරටත් පැවැසීය.

සවනි ශේශාධි