කොවිඩ් සිවුවන මාත්‍රාව ගැන අනිසි බිය නැති කරන්න බලධාරීන් පියවර ගත යුතුයි

0
16

කොවිඩ් සිවුවැනි මාත්‍රාව කල් ඉකුත් වී ඇතැයි පවතින ජනතා බිය නැති කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් වහාම පියවර ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග පිළිබඳ හිටපු කලාපීය උපදේශක, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ  පැවැසීය. වෛද්‍යවරයා “මව්බිම”ට  පැවසුවේ  කොවිඩ් සිවුවැනි මාත්‍රාව පිළිබඳව ජනතාවට අනිසි බියක් තවමත් පවතින අතර ඒ පිළිබඳ පුළුල් පැහැදිලි කිරීමක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කළ යුතු බවය.

විශේෂයෙන්ම පසුගිය කාලයේ කොවිඩ්  පිළිබඳ අවධානය සාමාන්‍ය ජනතාව හා රජය පාර්ශ්වය අතරින්  ගිලිහී තිබුණු අතර එම නිසා රටට ගෙනැවිත් තිබූ එන්නත් පිළිබඳව කල් ඉකුත් වීමක් ඇතැයි අනිසි බියක් මේ වන විට හටගෙන තිබෙන බව නිහාල් අබේසිංහ මහතා පැවැසීය.

නමුත් අදාළ එන්නත් මාස තුනක කාලයක් තුළ පාවිච්චි නොකිරීම ගැටලුවක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කළ අතර ඒ පිළිබඳ පුළුල් විග්‍රහයක් තවදුරටත් අවශ්‍ය බව අබේසිංහ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම කොවිඩ් සඳහා එන්නත් දෙක ලබා නොගත් පිරිස් මේ වන විටත් රට පුරා සිටින අතර ඔවුන් වහාම එන්නත් දෙක ලබාගත යුතු බවත් ඊට හේතුව දරුවන් සහ වැඩිහිටි ප්‍රජාව කොවිඩ්  රෝගයට ගොදුරු වුවහොත් එයට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිකරණයක් සකසා ගැනීම ඉතා වැදගත් බවත් වෛද්‍යවරයා පැවැසීය.

අනුරාධා හේරත්