කෙසෙල්මුවක් කැඩූ වියපත් පියාට පහර දුන් නාවික පුතා රිමාන්ඩ්

0
13

ගෙවත්තේ කෙසෙල්මුවක් කැඩුවා යැයි හැරමිටි දෙකකින්, වයරයකින්, අතින් පයින් හා හීටරයක් රත්කර පුලුස්සා වයෝවෘද්ධ පියා තුවාල සිදුකිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික නාවික හමුදා සෙබළකු අගෝස්තු මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය පෙරේදා (15 වැනිදා) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මාවනැල්ල, අම්බුළුගල ප්‍රදේශයේ පදිංචිව සිටින විදාන හේවයලාගේ සේනානි ධර්මසිරි නමැති පුද්ගලයෙකි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුද්ගලයා පවුලේ එකම දරුවා බවත් ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කොට විශ්‍රාම ලබා ඇති බවත් පොලිසිය පැවැසීය.

සැකකරුගේ මවුපියන් කෑගල්ල පොලිස් වසමේ මීපිටිය ප්‍රදේශයේ තනිවම පදිංචිව සිටින බවත් වසර හතරකට පමණ ඉහතදී සැකකරු මාවනැල්ල අම්බුළුගල ප්‍රදේශයේ තරුණියක් විවාහ කරගෙන අම්බුළුගල පදිංචියට ගොස් තිබේ.

සැකකරු 2014 වර්ෂයේ සිට බීමත්ව නිවෙසට පැමිණ පරුෂ වචනයෙන් බැන විවිධ ආකාරයෙන් වධ හිංසා මවුපියන්ට සිදු කර ඇති බවත් කළ විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බව පොලිසිය පැවැසීය.

සැකකරු මවුපියන් හට කරන ලද පහරදීම් හා දේපළ හානි සිදු කිරීම සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි 15ක් ලැබී ඇත. පියා 7 වතාවක් ගුටි කා කෑගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් පොලිසිය පැවැසීය. එක් වතාවක් කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව සමථ මණ්ඩලයට යොමු කර ඇති බවත් එහිදී සැකකරු මවුපියන් හට පහර නොදෙන බවට පොරොන්දු වී ඇති බවත් පොලිසිය කියයි.

ඉකුත් පුර පසළොස්වක පෝය දා පෙරවරුවේ නිවෙසේ උයාපිහා ගැනීමට එළවළුවක් නොමැති අවස්ථාවේදී වයෝවෘද්ධ 74 හැවිරිදි පියා වත්තේ තිබුණු කෙසෙල් ගසක මුවක් කඩාගෙන කෑමට උයාගෙන ඇති බවත් සවස එකම පුතා අම්බුළුගල නිවෙසේ සිට මවුපියන් පදිංචිව සිටින මීපිටිය නිවෙසට ඉකුත් 14 වැනිදා පැමිණ වත්තේ ඇවිද පසුව

කෙසෙල් මුවේ කැඩුවේ කවුද කියා පියාගෙන් විමසා ඇති බවත් පොලිසිය පැවැසීය.

පසුව වයෝවෘද්ධ පියා කියා ඇත්තේ උදේ උයන්න දෙයක් නොතිබුණු අවස්ථාවේදී කෙසෙල්මුවේ කඩා උයාගත් බවත් උඹට කියලා තියෙනවා නේද වත්තේ තියෙන දේවල් අල්ලන්න එපා කියලා හවස අල්ලා ගන්නම්, යැයි පවසා සැකකාර පුතා පිටව ගොස් ඇති බවත් පොලිසිය පැවැසීය.

සවස 4ට පමණ සැකකරු සිය බිරිය සමඟ මත්පැන් බෝතලයක් රැගෙන මවුපියන් පදිංචිව සිටින නිවෙසට පැමිණ ඇති බවත් රාත්‍රි 9ට පමණ කෑම කා නින්දට ගොස් සිටි අවස්ථාවේදී සැකකාර පුතා කාමරයට ගොස් වම් උරහිසට හැරමිටියක් කැඩෙනතුරු පහරදී පසුව ‍ෙදාර මුල්ලේ තිබුණු හැරමිටිය ගෙන අත් දෙක උස්සන්න කියා පහරදුන් බව පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.

තවද වයර් එකකින්ද පහර දුන් අවස්ථාවේදී ශල්‍යකර්මයක් කර ඇති ඇසට වැදුණු බවත් ඇස නොපෙනෙන බවත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

පහරදෙන අවස්ථාවේදී පියා බේරීමට මව මැදට පැන ඇති බවත් අතින් පයින් පහරවල් කිහිපයක් එල්ල කළ අවස්ථාවේදී ඇය ‍ෙදාර මුල්ලේ සැඟව ඇති බවත් පොලිසිය පැවැසීය. පසුව වයෝවෘද්ධ පුද්ගලයා සිය බිරියට දිවගොස් බේරෙන ලෙසට දන්වා ඇති අතර එම අවස්ථාවේදී කාන්තාව දිවගොස් තිබේ. සැකකරු වතුර උණුසුම් කරන හීටරයක් ගෙන විදුලියට සම්බන්ධ කර එය රත්වූ පසු දකුණු අත පුලුස්සා ඇති බවත් අනිත් පැත්ත හැරෙන්න යැයි පවසා පියාගේ මුහුණේ වම් පැත්ත අතේ පහළ බාහුව පුච්චා දැන් සැපද අසා ඇති බවත් කළ පැමිණිල්ලේ සඳහන්ය. පසුව වැසිකිළියට වී සැඟවී සිට ඇති වයෝවෘද්ධ පියා හමුවට පාන්දර 4ට පමණ ආ සැකකාර පුතා ඉඩම හා නිවෙස තමාට ලියා දෙන ලෙසත් නොලියන්නේ නම් මහලු නිවෙසකට ගිහින් දමන බවටත් පවසා පිටව ගොස් ඇති බවත් පොලිසිය පැවැසීය.

පසුව වයෝවෘද්ධ පියා ත්‍රිරෝදයකින් ගොස් කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී තිබේ.

එහිදී ඔහු පොලිසියට කියා ඇත්තේ තමන්ට හා බිරියට නිදහසේ ජීවත් වීමට අවස්ථාව උදා කරදෙන ලෙසය.

කෑගල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් ‍ෙදාරේරාජ් (27299), නිලධාරියා විසින් සැකකාර පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු කියා ඇත්තේ බොරු කියා ඉඩම විකුණන නිසා පියාට පහරක් ගසා කට පිලිස්සූ බවට පිළිගන්නා බවය.

පෙරේදා (15දා) සැකකරු කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය වෙත ඉදිරිපත් කරනු ලදුව ඔහුව අගෝස්තු 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කෙරිණි.

මානසික වෛද්‍යවරයකු වෙත සැකකරු ඉදිරිපත් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ඇය බන්ධනාගාරයට නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් කුලතුංග මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් වසන්ත කුමාර (36859) සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

දමුණුපොළ – චමින්ද ජයලත්