කඩුවෙල OIC පාතාලය සමඟ මුහුණට මුහුණ සටනක

0
322

කඩුවෙල නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී හිටපු පාතාල නායකයකු වූ රණාලේ සමයංගේ ගෝල දෙපිරිසක් අතර ඇතිවීමට ගිය මාරක ගැටුමක් වළකාලමින් කඩුවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඊට මැදිහත්වී පාතාල  සාමාජිකයන් තිදෙනකු කඩු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඛාන් වීරසිංහ වෙනත් රාජකාරියක් නිමවී පොලිස් ස්ථානය බලා යමින් සිටියදී කඩු අතැතිව ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් සිටින මෙම පාතාල කල්ලිය දැක වහාම ක්‍රියාත්මක වී ඔවුන් පසුපස හඹා ගොස් ඇත.

එහිදී සුපිරි ජීප් රථයකින් මෙම ප්‍රහාරයට ආ පාතල කල්ලි සාමාජිකයන් පලා යෑමට උත්සාහ දැරීමේදී ඉන් තිදෙනකු කඩුත් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය පෙරේදා (15දා) රාත්‍රි 10ට පමණ සිදුව ඇති අතර මෙහිදී පලාගිය තවත් පාතාල සාමාජිකයන් පිරිසක් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කොට තිබේ. රණාලේ සමයං 2017 වසරේදී අංගොඩ ලොක්කා ඇතුළු කණ්ඩායමක් විසින් කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයක් තුළ ඝාතනය කරනු ලැබීමෙන් පසු සමයංගේ කල්ලිය සීසීකඩ විසිර ගොස් ඇති බවත් එලෙස විසිරුණු එක් කල්ලියක් තවත් ඔවුන්ගෙන් විරසක වූ දෙදෙනකු කපා කොටා ඝාතනය කිරීම සඳහා මෙලෙස සූදානම් වීමේදී කඩුවෙල ස්ථානාධිපතිවරයා මැදිහත්ව මෙම ඝාතන තැත වළකා සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී යතුරුපැදිවල පලාගිය සැකකරුවන් සොයා මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක කොට ඇති අතර සිදුකළ සෝදිසි කිරීම්වලදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5ක්ද සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් ඊයේ (16දා) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

චාමර අමරසූරිය