උපන්දිනය සමරා එද්දී යතුරුපැදිය හැපී තිදරු පියා මරුට

0
13

යතුරුපැදියක ගමන් කරමින් සිටි තිදරු පියෙකු මාර්ගය අසල තිබූ නාම පුවරු කණුවක ගැටීමෙන් බරපතළ තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බැව් කරාපිටිය රෝහලේ දී පැවැති හදිසි මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ  උණවටුණ පිල්ලගොඩ ප්‍රදේශයේ දී සිදුවූ මෙම අනතුරෙන්  මියගිය ලුවිස් ආන්නද ඇත්තනි (46)  නමැති අය උණවටුන මහරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඉකුත් 03 වැනි දින පස්වරුවේදී මොහුගේ උපන්දිනය වෙනුවෙන් බිරිය විසින් උපන්දින සාදයක්ද සංවිධානය කොට තිබුණි. උපන්දින සාදයටද සහභාගි වී  මොහු  එදින රාත්‍රි යතුරුපැදියෙන් නිවෙසින් පිටතට ගොස් ඇති අතර එහිදී අනතුරට ලක්ව ඇත. අනතුරට ලක්ව දින 11කට පසු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොහු මියගොස් ඇත. මොහු බුස්ස යුද හමුදා කඳවුරේ විදුලිකාර්මිකයකු ලෙස සේවය කරන අයෙකි.

මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි  එච්.ටී. වීරරත්න මහතා විසින් සිදුකරනු ලැබීය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා  හිසට හා මොළයට වූ තුවාල නිසා මරණය වී ඇති බවට තීන්දු කළේය.

ඉමදුව – ටී. විතානවසම්, රත්ගම – ඉරත්නවල්ලි  ගුණපාල, ගාල්ල – කමල් විජේරත්න