ආණ්ඩුව QR ක්‍රමයට 50%කින් ජන ජීවිතය කප්පාදු කළා

0
14

වත්මන් ආණ්ඩුව කිව්.ආර්. ක්‍රමයට ජන ජීවිතය සියයට පනහකින් කප්පාදු කර තිබෙන බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ පවසති.

එදා හාල්පොත වෙනුවට අද ජනතාව අතට කිව්.ආර්. කාඩ්පත ලබාදී තිබෙන බවත් මේ ආකාරයෙන් ජනතා අවශ්‍යතා පාලනය කරන පාලනයකින් අත්වන සෙතක් නොමැති බවත් උන්වහන්සේ කීහ.

උන්වහන්සේ එසේ පැවසුවේ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම ඊයේ (16දා) බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට තෛ්‍රනිකායික මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් සංඝ සමුළුවක් පවත්වා විරෝධය දැක්විය යුතු බවත් ඒ සම්බන්ධව මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කළ බවත් උදිත හිමියෝ ප්‍රකාශ කළහ.

ජනමතය සාධාරණව නියෝජනය වන නියෝජිතයන්ගෙන් යුක්ත නව පාර්ලිමේන්තුවක් ජනතාව අපේක්ෂා කරන බවත් එවැනි මන්ත්‍රිවරු පිරිසක් පත්කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බවත් ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් හිමියෝ පැවසූහ.

පාර්ලිමේන්තුව තුළ ඔළුගෙඩි මාරුවක් සිදු කරමින් ආණ්ඩුවක් ගොඩනඟා ගත් කණ්ඩායම ජත්‍යන්තරය තුළ එය සාධාරණීකරණය කිරීම සඳහා සර්වපාක්ෂික මන්තරයක් ජප කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ලබන වසරේ මාර්තු වන විට හෝ ආණ්ඩුව විසුරුවාහැර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ජනතාවට කැමැති ආණ්ඩුවක් පත්කර ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවද  වකමුල්ලේ උදිත හිමියෝ කීහ.                             

මෙම අවස්ථාවට  ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය හ¾දුගල රතනපාල හිමි ඇතුළු විධායක කමිටු සාමාජික භික්ෂුන් වහන්සේ සහභාගි වූහ.

මහනුවර – කේ. එල්. සුරවීර