අනාරක්‍ෂිතව දුවන බස් පාසල් දරුවන්ට භීතියක්

0
25

ගලේවෙල මාර්ගයේ ධාවනය කරන පෞද්ගලික බසය ඉතා අනාරක්‍ෂිත ලෙස දරුවන් ප්‍රවාහනය කරන බව ප්‍රදේශවාසීන් මෙන්ම මවුපියෝ චෝදනා කරති.

මාස කිහිපයක සිටම මෙම බස් හිමිකරුවන්ට සහ රියැදුරන්ට, කොන්‍ෙදාස්තරවරුන්ට මවුපියන්, ප්‍රදේශවාසීන් මෙන්ම පොලිසියද අවවාද කර තිබුණද ඔවුන් කිසිදු අවධානයක් ඒ පිළිබඳව යොමු නොකරන බව ජනතාව පෙන්වා දෙති.

ඒ අනුව පාසල් සතිය ආරම්භ කළ 15 දින පස්වරුවේ දඹුල්ල-ගලේවෙල මාර්ගයේ පාසල් දරුවන් ප්‍රවාහන කරන සිසුසැරි බස් සහ අනෙකුත් බස් රථ ධාවනය කරන ආකාරය පිළිබඳව අපි ගවේෂණයක නිරත වුණෙමු. එහිදී දැකගැනීමට හැකි වූයේ පොල් පැටවූ ලෙස බස් රථවල දරුවන් ප්‍රවාහනය කරන ආකාරයයි. පෞද්ගලික බස් රථ හිමිකරුවන් කියා සිටියේ ලංගම සිසුසැරි බස් නොමැති නිසා ඔවුන්ට මේ ආකාරයෙන් දරුවන් රැගෙන යෑමට සිදුවන බවය.

ලංගම බස් මෙම මාර්ගයට ලබා දෙන්නේ නම් තමන් දරුවන් ප්‍රවාහනය නවතා දමන බවද ඔවුහු පවසති. කෙසේ වෙතත් බස් රථ රියැදුරන් අසුනේ පවා දරුවන් රැගෙන යන ආකාරයත් රියැදුරුට ඉදිරිපස නොපෙනෙන ආකාරයට පාසල් දරුවන්ගේ පොත් බෑග් පටවා තිබෙන ආකාරයත් අපි නිරීක්‍ෂණය කළෙමු.

දඹුල්ල-ගලේවෙල පාසල් බස් පිළිබඳ බලධාරීන් මේ ගැන තම අවධානය යොමු කරනු ඇතැයි මවුපියවරු බලාපොරොත්තු වෙති.

දඹුල්ල – කේ. කේ. ආරියදාස