අගමැති අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා

0
56

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කිරීමේදී මන්ත්‍රිවරුන්ට ලබාදුන් පහසුකම් තවදුරටත් ඉදිරි මාස කිහිපයේදීත්  ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අගමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.

රට ආර්ථික, සමාජීය හා දේශපාලන ව්‍යසනයකට ලක්ව ඇති මොහොතක වත්මන් අගමැතිවරයා විසින් අරුමපුදුම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයිද විපක්‍ෂ නායකවරයා චෝදනා කළේය.

අනුප්‍රාප්තික ජනාධිපති පත් කිරීම සඳහා බාධාවකින් තොරව මන්ත්‍රිවරුන්ට සහභාගි වීමට පහසුකම් දුන් බවත් එම පහසුකම් තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවසර දෙන බවද එහි සඳහන්  බව විපක්‍ෂ නායකවරයා අවධාරණය කළේය.

මෙහිදී මන්ත්‍රිවරුන් පස්දෙනකු  වෙනුවෙන් තෙල් පහසුකම්, රියැදුරු පහසුකම්, ප්‍රවාහන පහසුකම් පවා ලබාදී තිබෙන බව එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් බවද ඔහු කීය.

ඒ අතරතුර වත්මන් ආණ්ඩුව  සර්වපාක්ෂික ආණ්ඩුවේ මැති ඇමැති ධුර සඳහා විපක්‍ෂයට ආරාධනා කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

වරප්‍රසාද ලබා ගනිමින් ජනතාවට තව තවත් බදු බර පැටවීමට විපක්ෂය සූදානම් නැතැයිද ඔහු අවධාරණය කළේය.

ජාතික මහජන සභාව, කාන්තා සංවිධාන ක්‍රියාකාරීන් සමඟ ඊයේ (16දා) පැවැති සාකච්ඡාවේදී ඔහු මෙසේ කීය.

රටේ ළමා හා කාන්තා මන්ද පෝෂණ තත්ත්වය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අවස්ථාවක ඔවුන්ට පෝෂණ සලාකය ලබා දෙනවා වෙනුවට මෙවැනි දේශපාලන ගේම් ගසන බවද  ඔහු පැවැසීය.

රට ගොඩනඟනවා යනුවෙන් සිදු කරන ව්‍යාජ වැඩවලට තමන් සහාය නොදෙන බවත් ආණ්ඩුව විසින් මන්ත්‍රි  වෙන්දේසියක්ද සිදු කරන බවත් එවැනි දේ අවශ්‍ය  නොවන බවත් මේ දේශපාලන සූදුවට තමන් සූදානම් නොමැති බවත් විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නිර්මාණි ගුණරත්න