“ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි එක ම කාසියේ දෙපැත්තක්” – ජනපති

0
104

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යනු එක ම කාසියේ දෙපැත්තක් යැයි ද දෙරටට ම වෙන්ව ගමනක් නොමැති යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (අගෝ. 15) පැවසීය.

ඉතිහාසය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක් කරනු ලැබ ඇතැයි ද ඉදිරියට ත් දෙපාර්ශවය එක්ව සිටිය යුතු යැයි ද සහජීවනයෙන් කලාපයේ සහ ලෝකයේ ගැටලු ජය ගැනීමට කටයුතු කළ යුතු යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඩෝනියර් 228 සමුද්‍රීය මුර සංචාරක ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාර දීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වුණු අතර අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව පැවසීය.

“අනාදිමත් කාලයක සිට අපට උපකාර කරන ඉන්දීය රජයට සහ ඉන්දීය නාවික හමුදාවට මම පළමුවෙන් ම ස්තුතිවන්ත විය යුතුයි. මට මතකයි අවුරුදු 6ක් 7ක් තරම් ළමා කාලයේදී මම මුලින් ම යුද්ධ නෞකාවට නැග්ගා. එය ඉන්දීය නාවික හමුදාවට අයත් එකක්. ඒ වකවානුවේදී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව විසින් එම ඉන්දීය නෞකාව මෙරටට ලබාදී තිබුණා.

තවත් බොහෝ ඉන්දීය දේශපාලනඥයන් හමුවීමට වාසනාව සහ වරප්‍රසාදය ලැබුවා. විශේෂයෙන් ම අගමැති මොරාර්ජි දේසායි. අගමැති වරන් සිං, අගමැති රජිව් ගාන්ධි, අගමැති නරසිංහ රාඕ විශේෂයෙන් ම අප දෙදෙනා ම අධ්‍යාපන අමාත්‍ය ධූර හෙබවූ නිසා මම හොඳින් ඔහුව දැන සිටියා.

ශ්‍රී ලංකාවේ නැගී එන දේශපාලකයන්ට, ඉහළ තනතුරු අපේක්‍ෂාවෙන් සිටින අයට මගේ උපදෙස් නම් ඔබේ ඉන්දියානු සගයන්ව හොඳින් දැන හඳුනාගෙන ඔවුන් සමග ගනුදෙනු කරන ලෙසයි. මන්ද ඔබ එසේ නොකරන්නේ නම් ගැටලු දෙස බැලීමට සහ එකිනෙකා පවසන දේ තේරුම් ගැනීමට ඔබට අපහසු වනු ඇත. අපට බොහෝ ක්‍ෂේත්‍රවල පොදු අදහස් තිබෙනවා.

ඉන්දියාව තම අවශ්‍යතා ගැන සොයා බලන අතරම ගෝලීය බලවතෙකු ලෙස එහි භූමිකාව දෙස බැලිය යුතුයි. අපි ඔවුන් සමඟ කතා කිරීම අත්‍යවශ්‍යයි. සියල්ලට වඩා ඉන්දියාව අපගේ සමීපතම අසල්වැසියා වන අතර, අප අවබෝධ කරගෙන සිටින අපට පොදු ගැටලු රාශියක් තිබෙනවා. ඉන්දු – ලංකා සබඳතාවලට පමණක් නොව කලාපයට සහ ලෝකයට අදාළ ගැටලු අප විසඳාගත යුතුයි. එබැවින් මෙම ප්‍රදේශවල අපට එය කළ හැකි අතර, ඉන්දියාව සමග එකඟතාවකට පැමිණීමට හෝ ඒ හා සමාන මත දැරීමට අපට බොහෝ අවස්ථාවන් තිබෙනවා යැයි ද පැවසීය.

මම හැමදා ම කිව්වේ අපි තනි කාසියක දෙපැත්ත කියලා. එක් මුහුණක් එක පැත්තකට වැටෙන ලෙසත් අනෙක් මුහුණ අනෙක් පැත්තට වැටෙන ලෙසත් කාසියක් බෙදිය නොහැකියි. මක් නිසා ද? යත් ඉතිහාසය අපව එකතු කර ඇති අතර අපට එකට සිටිය යුතුයි. මෙම සම්බන්ධතාව කුමක් ද? මට ඒ සඳහා නිශ්චිත වචනයක් ලැබී නැහැ. නමුත් මට පැමිණිය හැකි සමීපතම දෙය, දෙරට අතර සහජීවන සබඳතාවයි. අපි දෙගොල්ලන් ම දෙරටේ 75 වන සංවත්සරය සමරනවා. මම කියන්නේ අපේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කැප වෙමු.”