බ්ලොක් ගල ත් රු.100ට නගී

0
454

ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල විදුලි බිලෙහි වැඩිවීමත් සමග ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබීම නිසා එක් සිමෙන්ති ගඩොලක මිල රුපියල් 100 දක්වා ඉහළ යාමේ අවදානම් තත්ත්වයක් මතුව තිබේ.

රුපියල් විසි අටක්ව පැවැති බ්ලොක් ගඩොලක මිල ඉන්ධන ගැටලුව ඇතුළු මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට පසුගිය කාලයේ පැන නැගී තිබූ ගැටලු රැසක් නිසා රුපියල් 40,50 දක්වා වැඩි වූ බව ද ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවසීය.

මේ අතරතුර, සිදුව තිබෙන විදුලි බිල ඉහළ යෑමත් සමඟ ඉදිරි දිනවලදී ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගන්නා බ්ලොක් ගලක මිල රුපියල් 100 දක්වා ඉහළ යා හැකි බව ද ඔහු පැවසීය.

විදුලි බිල ඉහළ යාමත් සමග පැන නැගී තිබෙන මෙම ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට සම්බන්ධ සියලු ව්‍යාපාර සම්පූර්ණයෙන් ම කඩා වැටී එම ක්‍ෂේත්‍රයෙහි සේවය කරන සේවකයන් පනස් පන් ලක්ෂයක පිරිසකගේ රැකියාවලට මෙන් ම ඔවුන්ගේ ආර්ථිකයට බරපතළ ගැටලුවක් පැන නැගී ඇති බව ද ඒ මහතා සඳහන් කළේ ය.

මෙරට දළ දේශීය නිෂ්පාදනයට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයෙන් සියයට 52ක දායකත්වයක් ලැබෙන බව ද රජයට ලැබෙන එම ආදායම මෙම ගැටලුකාරී තත්ත්වය යටතේ රජයට අහිමිවනු ඇති බව ද ඒ මහතා පැවසීය.

මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය මුහුණ පා තිබෙන මෙම බරපතළ ගැටලුව පිළිබඳව පෙන්වාදීම සඳහා ඉදිරියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම ගැටලුවට සහනදායි පිළිතුරක් නොලැබෙන්නේ නම්, මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සම්පූර්ණයෙන් ම කඩා වැටීම වැළැක්විය නොහැකි බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.