GSP වෙනුවට බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාව ලැබෙන්න යන අලුත් ම සහනය

0
881

ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ඇඳුම් සහ ආහාර වැනි නිෂ්පාදන සිය ගණනක තීරුබදු කප්පාදුව දීර්ඝ කිරීමට බ්‍රිතාන්‍යය නව වෙළෙඳ යෝජනා ක්‍රමයක් දියත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක්සත් රාජධානියේ GSP බදු සහන ක්‍රමය වෙනුවට මෙම නව යෝජනා ක්‍රමය 2023 වසරේදී බලාත්මක වනු ඇත බව ය.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමය (DCTS), ආර්ථිකය නැංවීමෙන් සහ රැකියා සඳහා සහය වීමෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබා දෙනු ඇතැයි මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

නිෂ්පාදනවලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා එක්සත් රාජධානියට තීරුබදු රහිත අපනයනයෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රතිලාභ ලබනු ඇති බව ත් මෙම යෝජනා ක්‍රමය අතිරේක නිෂ්පාදන 150කට අධික සංඛ්‍යාවක තීරුබදු ඉවත් කරනු ඇති බව ත් ඇය එමගින් පෙන්වා දී තිබේ.

ඇය වැඩිදුරට ත් එහි දක්වා ඇත්තේ, එය ඇතැම් කාලවලදී පනවනු ලබන තීරුබදු සරල කරනු ඇති බව ත් එක්සත් රාජධානියට ශ්‍රී ලංකාවේ අපනයන සඳහා අමතර සහ සරල ප්‍රවේශයක් ළඟා කර දෙනු ඇති බව ත් ය.

ජූනි මාසයේදී බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබුණේ, යුරෝපා සංගමයේ GSP සහන ක්‍රමය වෙනුවට සංවර්ධනය වෙමින් පවතින රටවල් 65ක් සඳහා නීති සරල කිරීමට නව වෙළඳ ක්‍රමයක් ආරම්භ කිරීමට අවශ්‍ය බව ය.