දෙසැම්බරයේ සහල් හිඟයක් ගැන ඇමති අමරවීරගෙන් අනාවැකියක්

0
391

වී අලෙවි මණ්ඩලය මගින් වී අස්වනු මිල දී ගැනීම සඳහා පත්කළ අනුකමිටුවේ උපදෙස් මත හෙට (අගෝ. 17) දින සිට ම වී මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අද (අගෝ. 16) දින මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ගොවීන්ට වී සඳහා ඉහළ මිලක් ලබා දීම හේතු කොටගෙන ඊයේ (අගෝ. 15) අමාත්‍ය මණ්ඩලය වෙත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබු බව ය.

ඒ අනුව, නාඩු වී කිලෝවක් රු.120කට ත්, සම්බා වී කිලෝවක් රු.125කට ත්, කීරී සම්බා වී කිලෝවක් රු.130කට ත් මිල දී ගැනීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය.

ගොවීන්ගේ වී නිෂ්පාදනවලට උපරිම මිලක් ලබා දීම සඳහා වී අලෙවි මණ්ඩලය මැදිහත් වන බව ත් පළමු අදියර යටතේ රු. මිලියන 2,000ක් වැය කර වී මෙ.ටො. 30,000ක් මිල දී ගැනීමට අපේක්ෂිත බව ත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කර සිටියේ, සහල් නිෂ්පාදකයින් ගොවීන්ගෙන් වී කුණු කොල්ලයට මිල දී ගැනීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව ය.

අවශ්‍ය වුවහොත් තවදුරට ත් රජය මැදිහත් වී, වී මිල දී ගැනීමට සූදානම් බව ත් 2022 වසරේ ජනවාරි මස සිට ජූලි මාසය දක්වා කාලය තුළ සහල් මෙ.ටො. පන්ලක්ෂයට වඩා ආනයනය කර ඇති බව ත් මහින්ද අමරවීර මහතා මෙහිදී සඳහන් කළේ ය.

එමෙන් ම කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ, වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගනු ලබන සහල් ලෙස සකස් කර අවම මිලක් යටතේ අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බව ය.

ඒ අනුව, අද (අගෝ. 16) සිට වී අලෙවි මණ්ඩලය අලෙවි කරන සෑම සහල් කිලෝවක් ම රු.5කින් අඩු කිරීමට ත්, ඉදිරියේදී වෙළඳපොළ තත්ත්වය සලකා බලා තවදුරට ත් සහල් මිල අඩු කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ද පියවර ගනු ඇති බව ඔහු පැවසීය.

දැනට රට තුළ කිසිදු සහල් හිඟයක් නොමැති අතර යල කන්නයේ වී අස්වැන්න මෙන් ම ආනයනය කරන ලද සහල් තොග ඇති බැවින් සහල් හිඟයක් ඇතිවිය හැක්කේ, බොහෝ දුරට එළඹෙන දෙසැම්බර් මස අවසානයේ බව ද ඇමතිවරයා වැඩිදුරට ත් ප්‍රකාශ කළේ ය.